Tuesday, September 5, 2017

සමාජයක් වශයෙන් අප පරාජිත ය.

සමහරු එක පාරම නින්දෙන් ඇහැරී ඇත. එහෙමත් නෙමෙයි, ඔවුන්ව ඇහැරවලා , සමාජයේ ගඳගහන අපිරිසිඳු යථාර්තය වෙත බලෙන් තල්ලු කර දමා ඇත.

මගේ ලිවීම ඒ තරම් ප්‍රබල ලෙස දැනෙන්නේ ඇයිදැයි සිතා වෙහෙස නොවන්න. මේ සැබෑ ලංකා සමාජ යේ නිරුවත ය. අපි රටක් වශයෙන් පරාජිත වී තිබේ, මනුෂ්‍යත්වය, කරුණාව සහ උසස් ජීවන තත්වයන් යන මේවා හීන වුණු රටක් සමාජයක් ලෙස අපි පරාජිතයන් වී අවසාන ය.

මාස ගණනක බිළින්ඳාගේ සිට මරණයට ළංවූ ආච්චි අම්මලා පවා දූෂණය වන සමාජයක, කුඩා දැරිවියන් ඒ දූෂකයාගේ දරුවන් ඇති දැඩි කළ යුතුයි, ඒක ඔවුන්ගේ කර්මය කියලා වටහා ගතයුතුයි, ඒ කර්ම ගෙවන්න ඒ දැරිවියන් හිත හදාගත යුතුයි කියා බණ ලියූ ගැහැණුන් පිරිමින් නොයෙක් තැන ලියන ද්වේශ බණ ඇස ගැටේ.

"ඇයි එයාලට මේ කර්මය මේ දහම, මේ දේව සැලැස්ම කියලා කියා දෙන්නේ නැත්තේ ? " කියා ඔවුන් විමසති. වෛද්‍යවරුන් ලෙස අප ආගමික, ජාතික බැඳීම් බිඳීම් ඉවත හෙලා, මනුෂ්‍යත්වය පෙරටු කරගෙන සේවය කරන්නෙමු. රෝහල්‍ යනු ඒ සියළු දෙයින් ස්වායක්ත වූ තැනකි. එනිසා අපි මනුෂ්‍යයන් වීමු.

සමාජයක් ලෙස අප  ප්‍රකෘති සිහියෙන් සිටිනවා ද?

බහුතරය තවම ජීවත් වෙන්නේ අපි කුඩා කළ ඉගෙන ගත් හෝ සිතන් සිටිය, " වැවයි දාගැබයි ගමයි පන්සලයි..." කියන සුන්දර සමාජයේ, 

එක් කොණකින් කොණට අනික් 
පයින් යතත් තරුණ කතක් ,
 මුළුවන් වූ කදිම රටක් 
ඇද්ද පුතේ මෙලක මිසක් 

කියා කළින් ලියූ කවියක් ඔළුවේ කොටාගෙන කියලයි මට සිතෙන්නේ.

ගැහැණියකට දැරිවියකට තමන්ට සිදුවන හිංසනයට විරුද්ධව සාධාරණයක් ඉෂ්ඨ කරගත නොහැකි නම් ඒ බිඳුණු ජීවිත සමග ඉදිරි කාලය මුළුල්ලේ තමන්ගේ ජීවිතය මළකඳක් සේ නිවාසයක ගෙවිය යුතු වේ නම් ඒ සමාජයේ මොන හොඳක් දැයි මා ඔබෙන් විමසමි.

දැරිවියන් තමන්ගේ නිවෙස් තුලම අපයෝජනය වී අප හමුවට ගෙන එනවා නම් ඒ සමාජය තුල ආරක්ෂාවක් තිබේ දැයි මම ඔබෙන් විමසමි.

රජයේ රෝහල් තුල , මේ දුක් කඳුළු පිට කරන ගැහැණුන් දැරිවියන් ගේ කතා හමුවේ ඔබ සසල නොවන්නේ නම් ඔබ මනුෂ්‍යයෙක් දැයි මම විමසමි.
මතවාදී වශයෙන් ගැටෙන්නට නොහැකි, ශිෂ්ඨ සම්පන්න නොවූ අන්තර්ජාල පරිහරනය කරන්නන් මා කොතෙකුත් දකිනවා.

රටක් වශයෙන් අපි පරාජිත ය, සමාජයක් වශයෙන් අප පරාජිත ය , පුද්ගලයන් වශයෙන් අප පරාජිත ය.

ආකල්පමය දියුණුවක් නැති කමින්, මනුෂ්‍ය ආචාර ධර්ම නැති කමින් අප සමාජය ම පරාජය වී ඇත.

එකිනෙකා නො ඉවසන සුළු වූයෙන්, කෝප වෛර පිට කරමින් වසුරු වගුරති.

කැතී ග්ලාස් ලියූ බිඳුණු බිළින්දා වැනි පොත්, කියවා ඒ ගැන කප්පරක් කතා කියමින් දුක් කඳුළු වගුරන, පොත්කියවන අයට වැනි ෆේස් බුක් පොත් සමාජ අස්සේ දුක කඳුළු කරන අයවළුන්, මෙවැනි බිඳුණු ජීවිත ගත කරන, කුඩා කළ සිටම, දූෂණයට , අවමානයට සහ ලිංගික හිංසන වලට ලක්වූ බිළිඳුන් දැරිවියන් සහ ගැහැණුන් ගැන මා ලියද්දී අවි අමෝරාගෙන එයි. ඒ ඔවුන්ගේ ඊනියා  "දැහැමි ලංකා සමාජ " සිතුවම බිඳී සුණු විසුණු වන නිසා ය.

කැතී ග්ලාස් ලියූ දැරිවියන් ගැන කම්පා වන ඔබට, ඔබේ රටේ ඔබේ සමාජයේ දුක් විඳින දරුවන් ගැන දැරිවියන් ගැන , හිත යොමු කරන්න බැරි ඇයි දැයි මම අසමි. ඔවුන් තමන් නො ඉල්ලූ තමන්ට දැරිය නොහැකි බරක් සමග අනාගතය අවුල් කරගෙන සිටිය යුතු දැයි මම අසමි. ඉහළට ඉගෙන ගන්න , හෝ නිසි රැකියාවක් ලබන්න හෝ, ජීවිතේ වැරදුණු තැනින් ගොඩ එන්න ඔවුන්ට උදව් කළ යුතු නොවේදැයි මම අසමි.

සමාජයේ නීති සකස් කරන්න යැයි ඔබට මට ලියා දක්වන්න පහසුය,නමුත් ඒ දේවල් ක්‍රියාත්මක කරවන්න ඔබ කළේ කුමක් දැයි මම අසමි.

මා රජයේ රෝහල් වල සේවය කරන අතර තුර, අප වෙත එන්නේ, අප සමාජයේ දරිද්‍රතාවයේ අඩියේම සිටින, අධික ලෙස දුක් විඳින පිරිසකි. ඔවුන්ට පුද්ගලික රෝහලකට හෝ සායනයකට යා ගත නොහැකි ය.

"බෙහෙත් බිව්වේ නැත්නම් ගෙදර යවන්නෑ " කියද්දී

" හා කමක් නෑ ඩොක්ටර් ඇන්ටී මම මෙහෙ ඉන්න කැමැතියි" කියන දරුවන් ය.

ඔවුන්ගේ ලෑලි ගෙවල් කුණු කඳු පිරුණු වත්තට, ඇඳක් මෙට්ටයක් නැති ගෙදරට වඩා ඉස්පිරිතාලේ ඇඳත්, නොමිලේ ලැබෙන බත් වේලටත්, බිස්කට් කෙහෙල් ගෙඩියටත් ප්‍රේම කරති.

ඔවුන් නිරන්තරයෙන් ලෙඩ දුක් කියාගෙන මෙහි පැමිණේ. එවැනි සමාජයක වෛද්‍යවරුන් හෙදියන්, සාත්තු සේවකයන්, මනෝ උපදේශකවරුන්, මොවුන්ගේ ප්‍රශ්න දරන්නට හිත හදන්නට, වෙහෙසෙති.
"අනේ ඩොක්ටර් මාව ගෙදර යවන්න එපා, තාත්තා බීලා එන්නේ හැමදාම රෑට" කඳුළු අතරින් ඩෙංගු වැළඳුණු දැරියක් කියූ කතාව ඔබට මතකදැයි මම අසමි. (බ්ලොග් පිටුවේ ලියා ඇත) 

ඔබේ දරුවා හෝ දැරිය සැනසීමෙන් නිදන අතර ඔබේ දරුවා බොහොම ආරක්ෂිතව සිටින අතර, ඔබේ දරුවා, නිසි පාසැල් අධ්‍යාපනයක් ලබන අතර, දූෂණයට ලක්වුණු දැරියකට, හිත හදා ගන්න , මේක ඔබේ කර්මය කියා ඔබ කියන්නේ කෙසේදැයි මම බොහෝ සසලවූ සිතැතිව කල්පනා කරමි. 
මම ද මවක් වන නිසා මගේ දරුවාට සිදු නොවිය යුතු දෙයක් වෙන දරුවෙක්ට සිදුවිය යුතු නොවේ යැයි මම තදින් විශ්වාස කරමි. නමුත් ඔබ එසේ බොහොම ලෙහෙසියෙන් , ඔහොම කියන්නේ කොහොමදැයි මම ඔබෙන් විමසමි. ඔව් ! මට අතිශය ද්වේශ බණ ලියා එවූ, ලංකා පොළව මතවත් නොසිටින ඊනියා මව්වරුන්ගෙන් මම විමසමි !

අනෙකාගේ කර්මය ඔවුන්ට විඳින්න බල කරන මේ සුදන වැසියන් තමන්ට කරදරයක් වුණු විට එසේ ඉවසන එකක් නම් නැත.
අප සමාජයක් වශයෙන් අපේ දරුවන් ගැන ප්‍රකෘති සිහියෙන් කටයුතු කරනවා ද ?

මවක් විසින් පසුගිය සතියේ අප වෙත අතිශය පීඩාකාරී ලිපියක් පත් කරා, ඒක ලියා තිබුනේ අවුරුදු 8 ක කුඩා දැරියක්

" මගේ ජීවිතේ තමා ලෝකේ තියෙන නරකම ජීවිතය කියා මට හිතෙනවා. ඇයි මට මේවගේ නරක ජීවිතයක් ලැබුනේ "
මේ වචන ඔස්සේ මගේ හිත කම්පා වුණු අයුරු මට ලියා ගන්නට පවා නොහැකියි. ඉතින් අපි තව දුරටත් අපේ මේ කුඩා මල් පොඩිති වල ජීවිත හොඳ අතට හරවන්නට, මහ පොළොවේ පය ගසා දහඩිය හෙළමු

ෆේස් බුක් බණ දෙසන්නන් කියන " මෙහෙමනීති ගෙනෙන්න මෙහෙම කරානම්හරි උපත් පාලනය ගැන අධ්‍යාපනයක් දෙන්න, අරක බොන්න මේකබොන්න" කියන ඒ සුරංගනාකතා වලින් දැහැමි සමාජයක් හැදෙන තුරු, මේ දරුවන් ගේ කම්පන අපි ම දරා ගෙන ඔවුන් ට පිහිටක් වන්නෙමු. 

ඇතැමුන් මේ දැන් ඇහැරුනාට මම මේ කතා ලීවේ 2010 සිට ය. ඇතැමුන් මේ දැන් ඇහැරුනාට අප ප්‍රායෝගිකව මේ සියල්ල දරමින් ඔවුන්ට සෙතක් සහනයක් සලසන්නේ ඒ තරම් බොහෝ කල් සිට ය. ඇතැමුන් මේ හදිසියේ ඇහැරුනාට , ලංකා සමාජය තුල ගැහැණුන් දැරිවියන් දරුවන් අපයෝජනය වේ, ලිංගික හිංසනයට ලක් වේ, ඉතා කුඩා කාලයේදීම දරුවන් දරා ඔවුන් ළමා නිවාස වල අත හැර යති. ළමා නිවාස වල ඉඩ මදි කම නිසා සමහර විට අප රෝහල් තුල ද ඔවුන් තබා ගැන්මට සිදුවේ.

ඔබ ප්‍රකෘති සිහියෙන් දැයි මම අසන්නේ එහෙයිනි. මනුෂ්‍යත්වයට ගරු කරන්න. එවිට ඔබ තුල සිටින බුදුන් , ජේසුන් හෝ දෙවියන් ඔබට සොයා ගත හැකි යැයි මම තරයේ විශ්වාස කරමි !


6 comments:

  1. සමාජයක් ලෙස අප ප්‍රකෘති සිහියෙන් සිටිනවා ද?/////// athha

    ReplyDelete
  2. ඇතැමුන් මේ දැන් ඇහැරුනා යැයි ඔබ සිතා සිටියද ඔවුන් හොරට නිදා සිටින්නන් මිස යථාර්තය දකින්නන් නොවේ..ඔබව සහ තවත් කීපදෙනෙකු ඉලක්ක කරගනිමින් ගබ්සාව නීතිගත කිරීමේ කාරණාව අරභයා ආගමික ස0කල්ප අමෝරාගෙන නැගීසිටියෝ ඔවුන්ය..කර්මයද දෙවියන්ගේ කැමැත්තද දෑතට ගෙන හඹා එන්නෝ ඔවුන්ය..බැනවැදීම්ද..ගර්හාවද මඩ ප්‍රහාරද පසුව එනු ඇත..එහෙත් කිසිවෙකුගේ හව්හරණක් නැති අසරණ ජීවිත වෙනුවෙන් පෙනී සිටිමු..ඔවුන් වෙනුවෙන් කර්මයද දෙවියන්ගේ කැමැත්තද වෙනස් කල හැකිනම්.. නිර්භයව එසේ කරමු..ඔබට ජය..

    ReplyDelete
  3. ප්‍රශ්නය හරියටම නොදත්තත් අනුමාන කල හැක . ඔබට යම් කිසි විරෝධතාවයකට මුහුණ දීමට සිදු වූවානම් එයින්ම පෙනීයන්නේ ඔබේ ලියවිල්ල සමාජය කම්පනය කරන්නට තරම් ප්‍රභල බවයි . ඒ නිසා මේ අවස්ථාවේ ඔබට මගේ සුබ පැතුම්. දැනෙන්නට යමක් ලියන්නට ලෙහෙසියෙන් කෙනෙකුට බැරි නිසාවෙනි .

    ReplyDelete
  4. ඇනලයිස් නොකර, අත් දැකීමක් නැතිව, හිතන්නෙ නැතුව, නිකම්ම ආගමක් හරි මොකක් හරි ගැන අන්ධ විස්වාසයක් විතරක් ඇතුව කියන දේවල් ගණන් ගන්න එපා. විශේෂයින්ම ෆේස් බුක් එකේ, ඒකෙ ලියන අයගෙන් බහුතරයක්වත් ඒක සීරියස් ගන්නවයි කියල මං හිතන්නෙ නෑ :-D

    ReplyDelete
  5. සමාජයක් ලෙස අප ප්‍රකෘති සිහියෙන් සිටිනවා ද ? :D

    සමාජයක් ලෙස අප ප්‍රකෘති සිහියෙන් සිටිනවා නම් ඔබත් මමත් අයත් වෙන වෘත්තීය කණ්ඩායම් වල බහුතරයට ඔහොම ඉන්න ලැබේවිද ? ඔබත් මමත් අයත් වෙන වෘත්තීය කණ්ඩායම් වල උමතු හැසිරීම් වලදී අපි නිද්‍රශීලීව හෝ උමතුවෙන් තැබූ සමාජය, අපි විසින් අවදි නොකරන ලද සමාජය දැන් අපේ වෘත්තීය මතය උමතුවෙන් ප්‍රශ්නකරන විට පමණක් සමාජයේ ප්‍රකෘත්ති සිහිය බලාපොරොත්තු වීම කොස්තරම් යුක්ති සහගතද ?

    එහෙම නැතිනම් අනික් වෙලා වලදී අපි හිටියෙත් ප්‍රකුර්ති සිහියෙන් නෙවෙයිද ?

    කාන්තාවට ප්‍රජනනය සම්බන්ධව වෙන අයුතුකම් බොහොමයක් ඔබේ ලියවිලි වල තිබෙනවා. නමුත්, දරුවෙකු ප්‍රසුත කරන්න සුතිකාගාරයට යන සෞඛ්‍ය අමත්යන්ශය්ට කෙලින්ම සම්බන්ධ නැති සාමාන්‍ය ගැබිණි කාන්තාවකට සෞඛ්‍ය සේවකයන් කතා කරන්නේ කොහොමද ? විවාහක ස්වාමිපුරුෂයා සමග සැලසුම් කරන ලද දරු උපත් සඳහා එන කාන්තාවන්ට කතාකරන්නේ "වල්කමේ ගිහින් ළමයි හම්බුවෙන්න ඇවිත් වගේ". ඔය අම්මලා ම කියපු වචනය. ඔය ඔබ ලගට එන අම්මලාගෙන් ඒවත් අහල බලන්න. එක්කෝ ඔබ දන්නවා නොදන්නවා වගේ සිටියට. මේ සමාජය ප්‍රකෘති සිහියෙන් සිටිනවා කියා ඔබ බලාපොරොත්තු වෙනවා නම් එය මහා විහිළුවක්. LOL මම ඔබට පමණක් ඇගිල්ල දිගු කරන්නේ නැහැ. මම කියන්නේ "ඔබත් මමත්" කියන කියා. A අකුර තිබෙදී අපි Z අකුර ගැන ප්‍රශ්න කිරීමෙන් පලක් තියෙනවද ?


    ඔබත් මමත් කොටස් කරුවන් වෙන සමාජයට අපි ඇගිල්ල දිගු කරන විට අපේ වෙතට අපේම ඇගිලි 4ක් දිගුවෙලා. නමුත් එය අපිට නොපෙනෙන්න පුළුවන්. ඔබත් මමත් හැමෝම අපිට වෘතීයමය ලෙස වාසි සහගත ලෙස අවස්තාවලදී සමාජයේ නිද්‍රාශීලීත්වයේ හෝ උමතුවේ වාසිය ලබනවා. එවිට අපි සමාජයේ ප්‍රකෘති සිහිට ප්‍රශ්න කරන්නේ නැහැ. එකට නොයෙකුත් හේතු කියන්න පුළුවන්. නමුත් ඔබත් මමත් එය ප්‍රමාණවත්ව කරලා නැහැ. අපිට, අපි කිසිවෙකුට සමාජයේ ප්‍රකෘත්ති සිහිය ප්‍රශ්න්කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ කියන එක මම අවධාරණය කරනවා. ඊට කලින් අපි විසින් කල යුතු බොහෝ දේ තිබෙනවා.

    ගබ්සාව ගැන ඔබේ අදහස ගැන තර්කයක් නෑ. ඒකට 100 % එකඟයි. ගබ්සාව යම් නීතියක් යටතේ පාලනය විය යුතුයි. එම නීතිය දැන් තිබෙන එක මෙන් නොවී, සුවිශේෂී කරුණු කිහිපයකදී ගබ්සාවට නීතියනුකුලව වෛද්‍යපහසුකම් සැපයීමට බල කරන එකක් විය යුතුයි.

    ඔබ කියන කරුණු වලට එකඟයි. ඔය කිසිම ආගමික කල්ලියක්වත් ආබාධ සහිත දරුවන් බාරගෙන බලාගැනීමට සැලකිය යුතු දෙයක් කරන්නේ නෑ. ශ්‍රී ලංකාව වැනි දියුණුවෙන රාජ්‍යයක රජයටත් විශාල දෙයක් කරන්නට බැහැ. දෙමවුපියන්ට තීරණයක් ගැනීමට ඉඩ දීම සුදුසුයි.

    ස්ත්‍රී දුෂයකදී නම් ගබ්සාවට කලින් පහසුවෙන් කල හැකි දේ පවතින නීතිය යටතේත් තිබෙනවා නේද ? නමුත් ඒවා සමාජයට අවශ්‍ය තරමට සන්නිවේදනය වී නැහැ. ඒවා සන්නිවේදනය කරන්න දෙන්නේ නැත්තෙත් එක එක පාට සළුපිලි පොරවා ගත ආගමික කල්ලි විසින්ම තමයි. ඊට එරෙහි ඔබේ මැදිහත්වීම බෙහෙවින් අගය කරනවා.

    ReplyDelete
  6. ළිං ගෙම්බන් සිටිනතාක් රටක් වශයෙන්ම අප පරාජිතය

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !