Saturday, December 30, 2017

ගිනිගත් වන්නි අහසට

වන්නි මෙහෙයුමෙන් පසු හැර ගිය පෙම්වතා අවුරුදු 7 කින් නැවත පැමිණේ , එනමුත් ප්‍රේමය වියැකී ගොසිනි .
මෛදලීයි මායි එකම වයසේ. ගිරව් දෙන්නාගේ කතාව මෛදලීට කීවේ මං. ඒකෙන් එයා එහෙම වෙන්නත් මම මෙහෙම වෙන්නත් හේතුව සමාජ පසුබිම කියලා එයා තේරුම් ගත්තා. වෛරය නැතිම කර ගත්තා. එයාට ඕනෙ වුනේ නිදහසේ ලූණු වවන්න. ඇයි ලූණුම ඇහුවම.. අනික්වත් වවන බව කීවා. අපි සැරයක් යද්දි හිටියේ අර ලානිල් පාට ටෙන්ට් ගහගෙන එයාලගෙ ඉඩම්වල වගා කරමින්. ඒ කූඩාරම් ජීවිතේ ගෑනු ළමෙක්ට කිසිම ආරක්ෂාවක් නෑ කීවට එයා පිළිගත්තේ නෑ. අම්මා එක්ක එහෙමම හිටියා. මම කොළඹ ආවා. මුහුණු පොත සම්බන්දකම් වැඩි දියුණු කළා. හරියටම අවුරුදු හතකින් එයා එහෙම කියද්දී, ----කුලම ට ගිහින් අඬන්න ඕනේ කියා තව කෙනෙක් දුක් වෙනවා.අපි වගේම මෛදලීත් දුක දමා ගැහුවේ වන්නි අහසට ... ගොඩක් දේවල් අහිමි වුන මැයි අග... අපේ කතා ලීවේ නැද්ද අහන ඒ සොඳුරු හිත මතක් වෙලා මෛදලී වෙනුවෙන් මේක ලීවා.
I met her during wanni days. She had a good insight about what was happening and always regretted her past. I had to tell her a story from jathaka kathaa, where two parrot brothers end up in two different societies when socia norms stressors and situations shape up and sharpens one's life into its current state. She loved that i was different from a typical doctor mainly because I was young. I remember seeing her land and the light blue tent she lived in the beggining of resettlements.

හිත දරා පිපුණා
ගැබ්බර සෙනෙහෙ මල් මිට
නුඹ තලා උදුරා
ගබ්සා කළා ප්‍රේමය
මගෙ කියා කිසිවෙක්
ඉතිරි නොවනා මැයි අග
දුක දමා ගැහුවේ
ගිනිගත් වන්නි අහසට

ඉරිතැලුණු හදවත්
පණ බුදින පිපිරුම් මැද
ඉතින් අපි ඉවරයි
නැගෙන සැමරුම් ලද
වෙර නැගෙන මායිම්
එපිට පැන තල් වැට
දුක ඉතින් කීවේ
ගිනිගත් වන්නි අහසට

මල් දරා පිපුනා,
තහනම් කෙරුණු ගස්වල
ඒ තලා කොනිතා
උගුළා දැමූ හිස් කුස
නුඹ නමින් පූදින
කඳුළක් නේවි කිසි දින
සාප දෙස් තිබ්බෙම
ගිනි ගත් වන්නි අහසට

එදා උන් මම නොව
වෙනත් කෙනෙකුන් නොව
දරාගත්තම පෙම
ගලක් වෙනවලු හිත
නේන තරමට හොඳ
හෙටක් හිමි නැති කය
දිනෙක මුදනෙමි මමත්
ගිනිගත් වන්නි අහසට

බෝ සමරතුංග 2017

Friday, December 22, 2017

හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද ?

හරියට වැඩෙන්නත් කළින්, ඔයා හිත හදන් එන්නත් කළින් ඔයාට එන්න වැඩ සිද්ධවෙනකොට, හුස්ම ඉල්ලගෙන ආපු ඔයාට හුස්ම නොදී කොහොමද පුතේ...

අම්මාටත් එපා වුණු ඔයාට හොර ගබ්සා මධ්‍යස්ථානයේදිම පරලොව යන්න සිද්ධ නොකර හදිසියේම අපි ඉන්න හවසක රෝහලටම ඒගන්න ඒ අම්මාට සිදුවුනේ දෛවයේ හාස්කම නිසා. ඒක වාසනාවද අවාසනාවද කියලා මම දන්නේම නෑ පුතේ...

ඔයාව ජීවත් කරවපු එක අපි කළ වැරැද්දක්ද දන්නේ නෑ පුතේ. අපිට උගන්වලා තියෙන්නේ ජීවිත ජීවත් කරවන්නයි !

 අම්මාට අමාරුවෙනකොට හොර ගබ්සා මධ්‍යස්ථානයෙන් රජයේ රෝහල් වලට පටවන එකයි කරන්නේ. අම්මාගෙත් ජීවිතේ අනතුරේ.
අම්මෙක්ට ඒ තත්වෙට පත්වෙන්න හිත හදාගන්න පුළුවන් තරමට සමාජය පිරිහිලා. ඒ අම්මව ඒ තරම් අසරණ කරපු මිනිහෙක් කොහේ හරි ඇති. සමහර විට මේ පුතා බරක් වෙන්න තරම් ඒ දෙන්නම අසරණ ඇති. සති විසි ගාණක් වෙද්දි මෙහෙම කරන්න හිත හදාගත්තෙ කොහොමද කියලා අපි ඇහුවේ නෑ. අපේ කලබලය අස්සේ මම දැක්කා ඔයාගේ අම්මා අඬනවා. ඔයා නියමිත කාලයක් හිටියනම් හොඳ වැඩුණු බබෙක් ලෙස එළියට එන්න තිබ්බා.
ඇම්බෝ, ලැරින්ජොස්කෝප්, ටියුබ් ඔක්සිජන් මේ සියල්ල ළඟට අරන් අපි ඔයාව ජීවත් කෙරෙව්වා. ඔයාව ශ්වසන මැශිමක් තියෙන රෝහලක් හොයාගෙන ඒකට ගිහින් සම්බන්ද කරනකම් ඔයා හුස්ම ගත්තා තනියම. ඔයා හරි ශක්තිමත් කියලමයි අපිට හිතුනේ පුතේ....
ඒ වෙලාවේ ඉඳන් මම හරිම හිතේ මහන්සියෙන් හිටියේ , සංවේදී මිනිස්සු නිසා ලොකු දුකක් දැනෙනවා.
දරුවෝ නැති මගේ යහළුවෝ අනන්ත දුක් වෙනවා. එයාලට දරුවෙක් නැති දුක තේරෙනවා.
සමහර විට ඔයාගේ අම්මත් දුක් වෙනවා ඇති. ඔයාව අපිට ජීවත් කරන්න වුනා. සමහර විට එයාට වෙන කරන්නම දෙයක් නොතිබෙන්න ඇති. සමහර විට... මම දන්නේ නෑ. මම මොකුත් ඇහුවේ නෑ.
සමහර විට ඔයාව ළමා නිවාසෙකට බාර දෙයි. සමාජෙට වෛර නොකරන කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගැහැණු සහ දරුවන් අසරණ නොවන සමාජයක් බිහි කරන්න ඔයාටවත් පුළුවන් වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා !
දරුවන්ට , තරුණ තරුණියන්ට හරි ලිංගික අධ්‍යාපනයක් දෙන රටක් සමාජයක් බිහිවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. තමන්ට බරක් වෙන දරුවෙක් වෙනුවෙන් හරි උදව්වක් ඒ අම්මලාට ලැබෙන ක්‍රමවේදයක් මේ සමාජෙට අවශ්‍යයි කියා මම තරයේ විශ්වාස කරනවා.  එතකොට ඒ අම්මලාට දරුවෝ බරක් වෙන එකක් නෑ.
 උපදේශනය, දරුවා වැඩෙන තෙක් බිහිවන තෙක් රැකවරණය මේ අවිවාහක අම්මලාට ලැබේනම් මේ ලෙස අතර මැද දරුවන් අසරණ නොවෙන්නත් ඉඩ තිබුනා. සමාජ භීතිකා බවට පත් කර, අවජාතකයා යැයි ලේබල් ගසන්නේ නැතිනම් මේ තනිකඩ අම්මලා දරුවන් හදාගන්නත් ඉඩ තිබ්බා.
බොහෝ වෙහෙස හිතත්, මේ දරුණු ඛේදවාචක දකින නෙතත් නිතර දුක් වෙනවා. මේවා හිරකරගෙන ඉන්න බැරි නිසා සටහන් කර තබන්න සිතුවා.
මේ බබාට අන්දන්න ඇඳුම් උණුසුම් කරන්න තුවා සියල්ල තිබුනා... මගේ යෙහෙළියන් සැරින් සැරේ ගෙනත් දෙන අළුත් නැපි ගවුම් කොට්ශීට් නිසා 💞
wrote this a while ago after resuscitating a 27 weeks old baby,
unmarried mom, didnt know what to do so looked for help in an illegal abortion place but came to hospital when things go horribly wrong. Im just so so so so angry with the whole world right now ! why do we need to bring babies to this world to suffer like this! (probably last few resuscitations .. 😔)

Wednesday, December 20, 2017

ඇඳලා හරි කියා දෙන්න !

අම්මෙක් සහ දරුවෙක් අපේ රෝහලේ සායනයකදි මුණ ගැහුනා,අප වෙත යොමු වෙන මේ දරුවට වෙනත් තැන් වලින් ඇදුම රෝගයට ඉන්හේලරය දුන්නට හොඳක් වෙන බවක් නෑ.නිතරම ඇදුම රෝගය උත්සන්න වෙනවා. මම ඇහුවා ඇගෙන් කොහොමද මේ බෙහෙත පාවිච්චි කරන්නේ කියලා, අම්මා කියනවා කිඹුහුම් යද්දි, කැස්සක් ආවොත් විතරයි පාවිච්චි කරන්නේ කියලා. ඒ කියන්නේ ඇයට රෝගය ගැන පැහැදිලි කිරීමක් ලැබිලා නෑ.

මම වෙනදා වාගේම රූප සටහන් ඇඳලා දුඹුරු ඉන්හේලරයෙන් වෙන්නෙ මොනවද නිල් එකෙන් වෙන්නේ මොනවද , පෙනහළු නාල සහ ගර්ත පිහිටන්නේ කොහොමද කියලා වෙලා අරන් කියා දුන්නා වැඩි වෙලාවක් කතා කරන්න වුනත් "අනේ ඩොක්ටර් මම දැනන් හිටියේ නෑ අම්මෝ මම දැන් ඉදන් හරියට පාවිච්චි කරන්නම්" කීවා. ඒ අම්මටත් ඇදුම.

"රෝගියාගේ රෝගය ඔවුන්ට වටහා දුන්නම ඔවුන් ඒක ගැන සැලකිලිමත් වෙනවා. ඒනිසා මේ බෙහෙත බොන්න කියලා බෙහෙත් ටික ගුලි කරාට මදි බෙහෙතෙන් එයාගේ රෝගය නැති කරන හැටි කියලා දෙන්න ඕන" විශේෂඥ වෛද්‍ය චම්පා ජයසුන්දර මහත්මිය අපි ශිෂ්‍ය අවධියේ පැවති සායනික පුහුණුවකදී කියා දුන්නේ, පෙනහළු දෙක පෑනෙන් කොළේ මත අඳිමින්.

"ඇදුම කියන්නේ..." කියමින් ඇය ගර්ත වලට වාතය යන හැටිත් නාල වල බිත්ති ඉදිමෙන හැටිත් දුඹුරු පාට ඉන්හේලරය වැඩ කරන හැටිත් නිල් පාට එකෙන් කරන්නේ මොකක්ද යන්නත් රූප සටහන් සහ තේරෙන වචන වලින් රෝගීන්ට කියා දෙන අයුරු අපි බලන් සිටියෙමු.
බොහෝ රෝග වලට හේතුව මිනිසුන් ධර්මය නොදැනීම බව ඇය නිතර දහම් කරුණු කියා දුන් අතර එකල එය අපිට නොදැනුනත් අද බොහෝ සෙයින් දැනෙනවා.

ඇය ගැන අපට ඇය කියා දුන් සායනික කරුණු වගේම ජීවන කරුණුත් මතක් වෙනවා.

අපට හිටිය එවන් උතුම්.ගුරුවරු අපට කීවේ වඩා හොඳ වෛද්‍යවරු වෙන්න කියලයි. මට ඒක තිස්සෙම මතක් වෙනවා.

"ඩොක්ටර් මොකෝ.මේ රූප ඇඳලා කියා" අපි ලියන කොළ වල කොනේ රූප සටහන් පෙන්නා මිස්ලා අහනවා. ඒ කියන්නේ මම රෝගය අම්මාට පැහැදිලි කරා. ඒ විතරක් නෙමේ , explained her child's health status in her native language. කියලත් ලියනවා. එහෙම ලියන්න අපිට පුරුදු කළේ උතුරේදී කායික රෝග වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරිය වූ අරුල්චෙල්වම් මහත්මිය. මොකද සිංහල වෛද්‍යවරු නමුත් රෝගීන් දෙමළ, කොච්චර හොඳින් දෙමෙළ කතා කළත් මොකක් හරි අවුලකදී රෝගියා කියන්න පුළුවන් "ඩොක්ටර් කිව්ව එක තේරුණේ නෑ" කියලා. එහෙම දේවල් වෙලා තිබ්බා ඒ පැත්තේ ඒ වෙනකොටත්.

රෝගීන් විශාල ප්‍රමාණයක් එක්ක මේ තරම් කතා කරන්න අමාරු බව මම දන්නවා. ඒත් අපි එතැන ඉන්නේ ඔවුන්ට උපරිමය කරන්නනේ. එනිසා මම ඒ උපරිමය කරනවා. මට එනිසා හිත සතුටෙන් නිදහස්ව ඉන්න පුළුවන් !

මට තව කතාවක් මතක් වුනා මේක වුනේ මෙහෙදි... දරුවෙක් ලැබෙන්න පමා වෙනවා දරුවගෙ හාට් රෙට් එක අඩු වෙනවා කියලා මට ඇමතුමක් ආවේ ප්‍රසූතිකාගාරයෙන්... හදිසි තත්වයන්ට අවශ්‍ය මෙවලම් සූදානම් කරගෙන, මාත් බලන් හිටියා, දරුවා ඉපදෙනකම්,

දැන් මට ඇහෙනවා, මිස්ලා විධාන දෙනවා, කාරුණිකව , ඇත්තටම ඔවුන් අම්මලාට විශාල කරුණාවක් දක්වනවා.

මට ඇහුනා ඒ අම්මාට " උංගි අම්මාහ්" කියලා කියවෙනවා. ඒක උතුරු කොනේදී අපට නිතර ඇහුණු වචනයක්. මේ අම්මට සිංහල බැරිව ඇති මට එකපාරම හිතුනා. මම කණ ළඟට ගිහින් ඇහුවම කීවේ ඔව් ඒ තරම් තේරෙන්නෙ නෑ කියලා. මම දෙමළෙන් අම්මා කරන්න අවශ්‍ය ටික කියා දුන්නා.

"පුල්ල පුරන්ද නේරම් මුක්කොනම් අම්මා, වෛර පාත තොඩන්ද මුක්කෝනම්, කාල කුත්තු මඩිංග , මුක්කුංග.." ඔන්න ඔහොම මට පුළුවන් සේරම කීවා. ඔහොම කියමින් අම්මාට සවි දෙමින් අම්මාව ඒ සඳහා යොමු කළා.

ඊළඟ මිනිත්තුවේ අම්මා තටමලා දරුවා එළියට ආවා. අපේ මිස්ලා තල්ලු කරන්න තටමන්න එවන්න එවන්න කියනවා අම්මට තේරෙන්නෙ නෑ. ඒවගේ තමයි. කෙනෙක්ට තේරෙන්න දෙයක් ඒ අයගේ බසින් කියන්න ඕනේ. එහෙම කියලා දුන්නම ඒ අය ඒ බෙහෙත හෝ ක්‍රම වේදය පිළිපදිනවා.

"මේක ආසාධනයක් ඒකට මේ තරම් කාලයක් ප්‍රති ජීවක බොන්න ඕනේ. ඒකට හේතුව , පරීක්ශන මගින් හොයාගෙන තියෙනවා ඇඟේ බැක්ටීරියාව නැති කරන්න යන කාලය. මොකද එයාලගේ වර්ධන වේගය හරි වේගවත්. බෙහෙතෙන් විනාශ නොවී ඉතිරි වෙන අය දෙගුණ තෙගුණ වෙන්නෙ හරි ඉක්මනින්. එනිසා උණ හොඳයි ඇඟට හොඳයි කියලා මේක නවත්වන්න එපා. අපි කියන කාලයම බොන්න වේල් අතර පරතරය තියන්න. කලාතුරකින් මේ වගේ අතුරු ආබාධ එන්න පුළුවන් ඒත් රෝගය එක්ක ගත්තම ඒවා හරි සුළු යි. හැමෝටම එන්නෙත් නෑ."

ඔහොම කියා දෙන්න වැඩි වෙලා ගත්තත් එහෙම කරන එකෙන් හිතේ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් අපි රෝගීන් වෙනුවෙන් උපරිමය කළා නේද කියලා.

ටික කළක් නිහඬව උන්නේ, නිදහස් වෙළඳ කලාපයේ ළමයින්ගේ සෞඛ්‍ය ගැටළු ගැන අධ්‍යයනයක් කරන්න ලැබුන නිසා. ඒ ගැනත් ලියමින් ඉන්නේ මේ කාලය වෙන විට ඒ ටිකත් ඉක්මනින් ලියන්නම්.


Tuesday, December 19, 2017

කිරි දොවලා දෙන්න මිස් ! නිතර ඇසු දුටු කඳුළු...


කොරිඩෝවේ සිටියේ ඇය ය. මා සොයමින් සිටි බවක් කියයි.
“මොකෝ මාව හොයන්නේ”
“අනේ ඩොට්ටර් කිරි දොවලා දෙන්න”
ඇය හැමෝටම ආමන්ත්‍රණය කරන්නේ ඔහොමය.ඔය කියන දවසට පෙරේදා හවස හදිසියේ රෝහල් ගතවුණු මේ අම්මා අඩුම අඩු බර බිළිඳියක ප්‍රසූත කළාය. පෙරේදාට කළින් දා, රෑ සිට ප්‍රසව වේදනා සමග වතුර යන්න පටන් ගත්තාට කිසිවෙක් කියන දෙයක් වගේ වගක් නොකර හිතුමතේ ගෙදරට වී උන් ඇය පසුවදා කුදලාගෙන රෝහලට ගෙනැවිත් තිබුනේ නැන්දම්මා ය. ඒ තරම්ම අඩු සමාජ දැනුම ද බුද්ධි හීනතාවයද ඇගෙන් පෙන්නුම් කරයි. ඇයද ස්නායු රෝග තත්වයකින් පෙලේ. දරුවා දැන් සිටින්නේ, අප හදිසියේ අටවා ගත් වීදුරු කාමරයේ ඉන්කියුබේටරයේ ය. පැය 18 කට ආසන්න කාළයක් ඇම්නියෝටික තරලය පිටතට කාන්දුවෙද්දී ගෙදර සිටි හෙයින්, දරුවාට ආරක්ෂාව සලකා, ප්‍රතිජීවක ඖෂධ එන්නත් කරයි. ඔක්සිජන් සම්බන්ධ කරන නාල නහය අසලට සවි කර තිබෙන්නේ,හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා ය.


පෙරේදාට කළියෙන් අම්මා උන්නේ ප්‍රසව වාට්ටුවේ ය. දරුවා අප වාට්ටුවේ වීදුරු කූඩුව තුල ය. අම්මාට ඇවිත් යා හැකිය. එහෙත් ඇය දැඩි ව්‍යාකූල බවකින් සිටියා ය. අප ඇය එහි හිඳුවා දරුවා ඔතා ඇයට දුන්නේ කිරි දීමට ය.
“කිරි එන්නෑ” කියමින් ඇය කිරි දීමට අදි මදි කරයි. බොහෝ කල් අරන් විවිධ අයුරින් කිරි මිස් නමින් හඳුන්වන මව් කිරි දීම පිළිබඳ උපදේශනය සිදු කරන හෙදියද දැඩි වෙහෙසක් දරන්නේ ඇයට සහ දරුවාට නිසි ලෙස මව් කිරි දීගත හැකි ලෙස සම්බන්ධ කිරීමටයි.
අවසන සියලු උපදෙස් ගඟට කැපූ ඉනි මෙන් විය. දොව දොවා කිරි දෙන ලෙස උපදෙස් ලැබිණි. කියා දී කරන්නේ නැති තැන මිස්ලා මහන්සිය නොබලා තමන්ම දොවාගෙන අර දරුවාට කිරි පෙව්වෝය. මගේ වැඩ මුරය වෙලාවේ මම හිතුවේ කොහොම හරි කියා දෙනව කියලා ය. ඒ වෙද්දි, මන්ද මානසික දරුවන්ට පවා යම් යම් දේ කියා දී මගේ ආත්ම ශක්තිය ඒ ගැන බොහොම ඉහළ තැනක තිබුනාය.
වැඩි හොඳට ග්ලවුස් දෙකක් දමා,(බිළිඳා අඩු බර නිසා රෝග බෝවීමට වැඩි අවධානම් ඇති නිසා) මගේ අතින්ම දරුවා අල්ලා ගෙන දරුවා සහ මව කිට්ටු කරගෙන , නිවැරදි ලෙස ස්ථාපනය කරන හැටි, ඉරියව්, සහ ක්‍රමවේද බොහොම ආදරෙන් කියා දුන්නේ, පුතේ පුතේ කියමිනි. මොකද ඇය තවම දහ නම වියැති පොඩි එකෙක් වගේ හිතන අම්මෙක් නිසා.
“දැන් හරි වැඩේ, ඔන්න මං කියා දුන්නා” යැයි කියමින් මම ජයග්‍රාහී අයුරින් ආවෙමි.
මගේ උත්කර්ෂවත් බැලුම පුපුරා යන්නට ගතවුනේ මිනිත්තු කිහිපයකි.
“බොන්නෑ මිස්” නැවත ඇය වැරදි ඉරියව්, වැරදි ක්‍රමවේද සහිතව බෙරිහන් දෙන ළදරුවා ඔසවාගෙන අප සහය පතයි.

අන්තිමේ මට වුනේ ඇයට කිරි දොවා දීමටයි. දොවා දුන් කිරි ටික ඉන්කියුබේටරයේ සිට රැහැයියෙක් මෙන් අඬන දරුවාට පොවා දරුවා නළවන්නට සනසන්නට වුනේ අප හෙදියන් ටය.
අම්මාට එහෙමවත් හැඟීමක් නොවී ය.

ඊළඟ කිරිවේල දොවා ගන්නට බැරුව මාව හොයාගෙන වාට්ටුව පුරා ඇවිද්ද අම්මාට අන්තිමේ  අපි දොවා දෙනවා වෙනුවට හෙමි හෙමින් එයාම දොවා ගන්නා තැනට එනකම් ඒ අම්මාව ඒ දේ කරන්න යොමු කළා නැත්නම් එයා පුරුදු වෙන්නෙම නැති නිසා. පස්සේ අපි ආච්චිව ගෙන්නගෙන එයාට පුරුදු කළා.
කෙසේ හෝ ඇය සුව වී ඇගේ දරුවාත් සුව වී ගෙදර ගියෝය. විටින් විට ආවෝ ය. සායනයට ද එන්නට දින නියම කර දුන්නෙමු. අපේ සායනයට ආ විට අතින් අල්ලාගෙන ගොස්, ප්‍රසව හා නාරිවේද සායනයේ වෛද්‍යවරයා හමුවී ඔවුන්ගේ තත්වය සහ මවගේ රෝගී තත්වය ගැන දන්වා ඇයට අවශ්‍ය උපත් පාලන ක්‍රමයක් සකස් කර දෙන ලෙස ද පැවසූවෙමු. එහෙත් ඇයට ඒ සියල්ල මග හැරී තිබුනි. ඒ දෛවය යැයි මට සිතේ.
ඉන්පසු ඇය දැක්කේම නැත. කාලෙකින් නැවත අප සොයාගෙන පැමිණියා ය.
“මිස් බබාට උණ, කන්නෙ බොන්නේත් නෑ.” 
අප දුටුවේ ඇය යළිත් ගැබිණියක බවයි.

ඇයට පසුගිය මාස් ශුද්ධිය ඇතිවූ දිනයක් ගැනවත් නිච්චියක් නැත. දැන් තියෙන්නේ මේ ඉන්නා අවුල ලිහා ගැනීම ය.
දැන් දරුවාගේ රෝගී තත්වය ගැන එකින් එක මම විමසමින් සිටියෙමි.
“දරුවා සෑහෙන්න දුර්වලයි වගේ. මේ බරත් අඩුයි අම්මා. මොනවද කන්න දෙන්නේ. ?”
“උදේට බත් දෙනවා... “ ඇය කියන්නට පටන් ගනිද්දීම
ඇගේ නැන්දම්මා පැවසුවේ ඇය පිස යන අහර ටිකවත් දරුවාට කවා ගන්නේ නැති බවයි.

දවස තිස්සෙම පිටි කිරි දියකරමින් දරුවාගේ කුස පුරවන මේ අම්මා, මන්ද මානසික තත්වය නිසාම එසේ කරනවා විය හැකියි. අපි දින ගණන් වෙහෙසිලා, අම්මාටත් ආච්චීටත් උගන්වා මව් කිරි දීමටත් මව් කිරි දොවා දීමටත් වූ වෙහෙස ගඟට කැපූ ඉණි ලෙස දිය කර හරින්න, ඔවුන්ගේ හංදියේ ඩිස්පැන්සරියේ දොස්තර කෙනෙක් සමත් වී තිබුනා. ඒ මාස තුන හතරෙන්ම දරුවා අඬනවා කියමින් එහි ගිය ඔවුන්ට පිටි කිරි ලියා දීමෙන්.
මව් කිරි දිය හැකිව තිබියදී මොවුන් තම ආර්ථික අපහසුතා සහ ජීවන අර්බුද වලට තවත් කරදරයක් එක් කරගනිමින් තවත් සල්ලි වියදම් කරමින් කිරි පිටි දෙන්නට පටන් ගෙන තිබුනි. මව් කිරි දීම ප්‍රචාරණය කරන්නට විශාල ක්‍රියාවලීන් පවුල් සෞඛ්‍ය කාර්‍යාංශය මගින් ගෙන යයි. එය ප්‍රචාරණය කරන්නට, පවත්වාගෙන යන්නට, වෛද්‍යවරුන්, හෙදියන් , පවුල් සෞඛ්‍ය සේවිකාවන් පුහුණු කරති. එහෙත් ඒ මහන්සිය වතුරේ යවමින් ඔවුන් කෙටි පාරවල් සොයා ජීවිතේට තවත් කරදර එකතු කර ගනිති.
මේ අම්මා රැකියාවක් නොකරයි. ඉන්නේ ලෑලි ගෙවල් වලින් පිරි, අනවසර ප්‍රදේශයක පිහිටි මුඩුක්කු පරිසරයක ය. ඔවුන්ට විදුලිය පවා නොමැත. සැමියා කුලී වැඩ කරයි. නැන්දම්මාද කුලී වැඩ කරයි. එතකොට ඔවුන් සෑහෙන ප්‍රමාණයක මුදල් කිරි බෝතල් සහ කිරි පිටි සඳහා වියදම් කළ යුතුයි. අපි මාසයක් තිස්සේ මතුරපු මන්ත්‍රණය ඔවුන්ට තේරෙන්නේ නැත. ඔවුන් සිතන්නේ කුමකින් හෝ හඬන දරුවාගේ බඩ පිරෙව්වොත් හරි කියා ය. ඉන් ළදරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට වෙන වෙනස්කම් ගැන කියවන්නේ නැත. දන්නේ නැත. ලෙහෙසිය පමණක් බලයි. මව් කිරි වලින් දරුවාට ලැබෙන ආරක්ෂාව හෝ පෝෂණය ගැන වැටහීමක් නැත. දරුවා බොහෝ රෝග වලින් මුල් කාලයේ ආරක්ෂා කරන්නේ මව් කිරි ඔස්සේ දරුවාට ලැබෙන ප්‍රතිදේහ මගිනි. ප්‍රතිශක්තිකරණය සඳහා එය වඩා වැදගත් ය. එමෙන්ම එයින් දරුවා සහ මව අතර සම්බන්ධතාවය වැඩි කරයි. දරුවා පසු කාලීනවද බොහෝ රෝග වලින් ආරක්ෂා කරයි. මවගෙන් ළදරුවාට කෙළින්ම දිය හැකි නිසා, ඇසුරුම් වල බහා දීම තැම්බීම මගින් ඒ ඇසුරුම් ජීවානුහරණය කිරීම සිදු කළ යුතු නොවේ එනිසා බොහෝ ආහාර ජීර්ණය සම්බන්ද රෝග වැලකේ.

“කියන්න බලන්න කොහොමද හෝදන්නේ කියලා බබාගේ ආහාර දෙන උපකරණ. කොච්චරක් දෙනවද කිරි” ඒක බලන්නම ඕනේ බොහෝ විට මේ බඩයෑම් හෝ රෝගකාරක එයින්ම සොයා ගත හැකිය.

“මේ බෝතලෙන් එකක් දෙනව මිස්. කියමින් ඇය එළියට ඇදගත් බෝතලය දුටු මට, හිත ඇතුලෙන් අනේ අපොයි කියැවිනි. මීයන් කා තිබූ වාටියත්, දරුණුවට හීරී තිබූ එළියත් ඇතුලත් අවපැහැයත් කියා පෑවේ මේ ජීවන ක්‍රමයේ ලක්ෂණයයි. හිත ඇතුලෙන් සුසුමන් රාශියක් නැගුනි.
දැන් මාස 8ක් තිස්සේ දරුවාට කිරි දෙන්නේ මෙයාකාරයෙනි. මේවා ලිවිය යුත්තේ, අප මුහුණ දෙන්නේ මෙහෙම සමාජ ප්‍රශ්නවලට බව ඔබ දැනගත යුතු නිසා ය. මේ තරම් සංවේදනා වෙන කිසිම වෘත්තියක දකින්නේ දැනෙන්නේ නැතුවැති කියා මට සිතේ.
“කොහොමද මේවා හෝදන්නේ”
“මම උදේට තම්බලා දෙනවා, ඒත් දවස තිස්සෙම මේ එකම බෝතලේට කිරි දම දමා හදලා දෙනවා මෙයා. මම එනකම්ම” නැන්දම්මා කටහඬ අවදි කරයි.
“කොහොමද හෝදන්නේ”ඒවෙද්දිත් වටේ බැඳී තිබූ කුණු කහට නිසා ඇසුවෙමි.
“වැලි ටිකක් දාලා හොලවනවා”
“වැලි කොහෙන්ද ?” මම විස්මය සඟවාගනිමින් විමසුවෙමි. වෛද්‍යවරුන් ලෙස අපි කිසිවෙක් විනිශ්චය කරන සුළු වදන් නොකියන්නට වග බලා ගන්නෙමු.
“ගෙදරින් එළියේ බොරළු වැලි” ඇය මේ පවසන්නේ, නිතර ගංවතුර ගලන, ලෑලි පුරවරයේ ඇති මිදුල් ගැනය. තවත් ඔවුන් වෙහෙසා පලක් නැත. හෙටම මේ සඳහා පිළියමක් යෙදිය යුතුයි. ඇය දරුවාට කිරි දෙන්නේම නැත. කිරි නැති බව පවසයි. මාස අටක් තිස්සේ කිරි දීලාම නැත. දැන් මේ ප්‍රශ්නෙ ආපසු හරවන්න සෑහෙන්න අපහසුයි ඇය දැන් ආයෙත් ගැබිණියක් ! තවම දිනයක් හෝ මාසයක්වත් නොදන්නා ගැබිණි තත්වයක්.
රෝහලෙන් මවට දරුවාට අවශ්‍ය කෑම වේල සපයා දෙනු ලබනවා. ඇය ඒ ගමන්ම සායනයට යොමු කර ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ ස්කෑන් මගින් දරුවා ලැබෙන දින නිර්ණය කරගත්තේද අප ඇය ඒවෙත යොමු කරගනිමිනි.

මේ කතා බහ යහළුවන් වෙත ලියා තැබූ විට ඔවුන් ද වහා වහා උදව් මා වෙත එවීය. මගේ නිවස පීරා අවශ්‍ය ආහාර බහාලුම්, ඇඳුම් සහ සපත්තු සොයා ගත්තෙමි.
උදානි නංගී, හේෂිනී අක්කා, නිවී සහ ඉරූෂා අක්කා, තව බොහෝ දෙනෙක්ට දෙන්නට තරම් රෙදිපිළි ආහාර කිරි බහාලුම් සහ බොහෝ දේ අප වෙත එවී ය.

මේ අතර මේ කතාව ඇසූ මගේ බ්ලොග් සගයෙක් වන කිඹුලී හෙවත් ෂානු විජේතුංග “අක්කේ මොනවද ඕනේ” කියමින් අසා ඇගේ යෙහෙළියක අතේ, මේ මවගේ ඊළඟ දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය සියළුම දේ එවා තිබුනා. අපි ඒවා රැගෙන ගොස් ඇය නැවතී සිටි ප්‍රසව හා නාරිවේද වාට්ටුවේදි ඇයට ඒවා දුන්නා. ඇය සතුටු කඳුළු වගුරමින් ඒවා ලබා ගත්තා.

“අනේ ඩොක්ටර් ඒ අම්මා හරියට සතුටු වුනා” පහුවෙනිදා ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ මිස්ලා පැවසුවා.

අපි කරන්නේ මේවගේ තාවකාලික පැලැස්තර හොයලා අලවන එක. රෝගා බාද පොඩි කාලෙකට සුව කරන එක. එයාලා ආයෙම යන්නේ, ඔවුන් ඉන්නා මඩ ගොහොරුවට. ජන්ද කාලෙට අපේක්ෂකයින්ට පේනා, යන එන ඒ ලෑලි ගෙවල් පුරවරයට, සෙසු කාලයට අනවසර ඉදිකිරීම් හෝ අනවසර පදිංචි වීම් යන ලේබලය ඇලවුණු, බන්ට් එකට එපිටින් ඇති ඒ මඩ ගොහොරුවට, ලයිට්වත් වතුරවත් නැති, එකමෙක පොදු කරාමයක් ඇති ඒ මුඩුක්කුවට. ඔවුන්ගේ ජීවන අරගලය වෙනස් කරන්න හෝ, වඩා හොඳ ජීවන තත්වයක් ඇති කරන්න හැකිනම් මේ තාවකාලික පැලැස්තර වලට වඩා එය කොතරම් අගනේ දැයි මට සිතේ.

එතෙක් මගේ යෙහෙළියන්ට පින් දෙමින්, ස්තූති කරමින්, පරිත්‍යාග ලොග් පොතේ පිටු පිරෙමින් වාට්ටුව භාරයට පත්වූ ඒ සියළු දෑ, හෙද සොයුරියන් අතින් මේ අඩු ආදායම්ලාභී , දුෂ්කර පරිසර වල ඉන්නා අම්මලා වෙත ලබා දෙන්නෙමු.

(අවසරයකින් තොරව උපුටා නොගන්න)

Monday, October 30, 2017

පුපුරා යන ගැහැණු !

සැමියා මිය ගිය පසු දරු දෙදෙනෙකුගේ බර දරාගෙන ඈ ජීවත් වූයේ, කම්කරුවෙක් ලෙස ඇය යම් ආයතනයක සේවය කර ගන්නා වැටුපෙනි. සැමියා රෝගීව සිටි නිසා යම් කාලයක් ඔවුන් දැඩි කරදර මධ්‍යයයේ ජීවත් වුණ බව පැවසුවේ මෙහි ඉන්නා අතර ය.
ණය කාරයන් ගෙදරට හොයාගෙන එද්දී , අවටින් පීඩනය දැඩිව දැනෙද්දී උදව් කරන්න නෑ සියන් හෝ කිසිවෙක් නො ආ බව පවසයි.

"හිස ඇතුලෙන් මට කීවේ දරුවොත් මරලා මාත් මැරෙන එක තමයි විසඳුම" කියලා.
ඇය පැවසුවා මතක ය. එවන් කිහිප දෙනෙක් පැවසුවේ එලෙස ය.

මේ අම්මා සියළු කරදර මධ්‍යයයේ ආතතිය දරා ගැන්මට නොහැකිව, විෂාධියෙන් පෙළෙන්නට වී (depression) තිබුනත්, ගේ දොර පිරිසිඳු නොකර, ඔහේ බලාගත් අත බලාගෙන කා සමගවත් කතාවක් නැතිව දින ගණන් ගත කළත්, කුඩා වයසේ සිටින දරු දෙනාට කෑමක් වත් උයා නොදී සිටියත් ඔවුන් ගැන විමසිලිමත් වූ කෙනෙක් නොවීය. නිවසේ ජලය එක් රැස් වන ටැංකියට වතුර පුරවන විට අවට නිවසක ගැහැණියක් විමසිලිමත් වුන නිසා, ඇයට දකින්න ලැබුනේ ටැංකිය තුලට දමා සිටි කුඩා දරුවන් දෙදෙනා ය. මෙවැනි කතා හමුවන ප්‍රථම වතාව මෙය නොවේ. අවසාන වතාවද මෙය නොවන බව දනිමි.

ඉන්පසු රෝහලට පැමිණි නෑසියන් දරුවන්ගේ භාරකාරත්වය ලබා ගත් අතර, ජීවිත හානියකින් තොරව ප්‍රශ්නය විසඳන්න , මනෝ ව්‍යාධියට පත් වූ මවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ඔවුන්ට අවශ්‍ය සමාජ සහයෝගයද ලබා දෙන්නට පුළුවන් විනි.
අසල් වාසී ස්ත්‍රිය විමසිලිමත් නොවුනේ නම් අර අම්මා දරු  දියේ ගිල්වා,ඇය ගෙලවැලලාගෙන මිය යන්නට තිබිණි. මේ අවුරුදු ගණනාවකට කලියෙන් සිදුවූවකි.
එනිසා මම මේ කතාව ලියන්නට සිතුවෙමි. එහෙත් මේ මතකයන් දැඩිව සිත කම්පනය කරවන සුළු ය.

 දින කිහිපයකට කළින් එවැනිම ඛේදවාචකයක් කඳුළින් නිමා වී තිබිණි. මෙවැනි සිදුවීම් ඕනෑ තරම් වේ. ඔබට මතක ඇති මින් පෙර ද  වස බී දරුවන්ටද වස පෙවූ මව්වරු ගැන මා ලීවා, මේ අම්මලා සහ ඉහත කියූ දසුන් කිහිපය නැවත නැවත මගේ මනසේ ඇඳෙන්නට වුනේ.... පසුගිය දා යාපනය ප්‍රදේශයේ සිදුවීමක් නිසා ය.

ප්‍රශ්නය අපට සිදු නොවුණු නිසා අපිට දැනෙන ප්‍රමාණය වෙනස් ද ?

මරණය අද්දර සිටින්නන් බේරා ගැනීමට කතා කරන්නේ බොහෝ විට මනෝ වෛද්‍ය ඒකකය වෙත ය. බොහෝ විට මේ සියල්ල අප සිතට වෙහෙසකර ය. එහෙත් ඔවුන් අපව බොහෝ දුරට විශ්වාස කරන නිසා, වෙදනලාව කරේ එල්ලාගෙන ගම්මානවලටද යෑමට සිදුවූ අවස්ථා ද, උස බිල්ඩිම් වල ඉහළ මාලයට නැග යනන්ට සිදුවූ අවස්ථාද විය.

එක්වරක් බන්ධනාගාරයක සිර මැදිරියට පවා අප කිහිප දෙනෙක්ට යෑමට සිදුවුනේ, මාරාන්තික උපවාසයෙහි යෙදෙන්නවුන් කිහිප දෙනෙක් කැමති කරවාගෙන රෝහල් ගත කිරීමටයි.
ආපසු පැමිණි පසු, අපව එහි යැවීම ගැන වෙනම දෝස් මුරයක් ඉහළට ලැබුණු නමුත්, අවසන ඔවුන් රෝහල්ගත කිරීමට අපට හැකි විය.

මේ සියල්ල අප හිතත් වෙහෙසකර කරනවා. මිනිසුන්ට ජීවත් වීම ගැන කියා දෙන්නත්, ජීවිතයේ අගය ගැන "ලොරි ටෝක්" දෙන්නත් අපට හැකි වුනාට, ඔවුන්ගේ ප්‍රශ්න හෝ දුක් කන්ද විසඳන්න ක්‍රමයක් අප දන්නේ නැති නිසා අපව කම්පනයට පත් කරනවා. මේ සියල්ල තාවකාලික පැලැස්තර වේ.

එක්තරා රෝහලක අම්මා කෙනෙක් අලුත උපන් බිළිඳාව හුස්ම හිර කර මරා දමලා කියා පුවත් පතක වාර්ථා කළේ පසු ගිය අවුරුද්දකය. අළුත උපන් බිළිඳා මහ මග දමා යන්නේ මෙහෙව් රටේ ය.

සමාජ ප්‍රශ්න, ගෙදර දොර ප්‍රශ්න , සහ සැමියන්ගේ හෝ නෑසියන්ගේ ප්‍රශ්න හමුවේ ඔළුව අවුල් නොවී ඉන්නේ කෙසේ දැයි මගෙන් ප්‍රශ්න කළ අම්මාවරුන් මට මතකයට නැගේ.

මානසික රෝග හෝ depression හෙවත් විෂාධිය ගැන නොදන්නා රටක, අම්මාට බනින මිනිසුන් වැඩි ය. කලක් මා සේවය කළේ ප්‍රසව හා නාරි ඒකකයකය... අලුත උපන් බිළිඳුන් සහ මව්වරුන් සිටින post natal care unit , පසු ප්‍රසව වාට්ටුව, පුදුමාකාර ආතතියක් ගෙන දෙන වැඩ බිම කි. කිරි බොන්නේ නැතැයි වෙනම මව්වරුන් පිරිසක් කළබලයෙනි, දරුවන් කහ වෙතැයි තවත් ප්‍රශ්නයකි, ඒ එක්කම දුකෙන් හෝ විස්සෝපයෙන් සිටින මව්වරුන් ද වෙති. ඇත්තටම ඊට කලින් කිරි හිරවී මිය ගිය දරුවෙක් සහ අම්මා කෙනෙක්ට යට වී එලොව ගිහින් මෙලොව ආ දරුවෙක් වැනි අවස්ථා කිහිපයක් තිබුණි.

සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්න සිටින අවස්ථාවේ සහ ඉන් පසු හෝමෝන අඩු වැඩි වීම් නිසා හැඟීම් සහ දැනීම් දරා ගැනීමට අපහසු තත්වයක් ඇති කළ හැක. එහිදී ඇතිවන සංකූලතා, වේදනා නිසාද මවක් සිටින්නේ ප්‍රකෘති තත්වයක නොවේ. ඇගේ මනස වෙහෙස සහ නින්ද නැති කම නිසා කලබලයට, ආතතියට පත් වීම නොවැලැක්විය හැකිය.

තනිව හෝ වෙන වෙනම නිහඬ අරගලයක යෙදී සිටීමෙන් හෙම්බත් වන අම්මලා, උදව් ඉල්ලද්දී...ඒ ගැන සැලකිලිමත් වන සමාජයක් ඇති කරන්නේ කවදා ද ?

රටක පැවැත්ම එහි ජීවත් වෙන රට වැසියාගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා සුබ දායක වන ලෙස අප වෙනස් කරගන්නේ කෙසේ ද?

සමාජය තුලින්ම අරගලයේ යෙදෙන, තනිවන, ආතතියට, විෂාධියට ලක්වන පිරිස කෙරේ සංවේදී වන සහයෝගී යාන්ත්‍රණයක් සැකසෙන්නේ කෙසේ ද? මම විමතියෙන් බලා සිටින්නෙමි.

ගැහැණියක හෝ මිනිසෙක් වේවා, පවතින ආර්ථික සාමාජීය ගැටළු සහ අවපාතයන් සේරමත් සමග වගකීම් සහිත බැරෑරුම් රැකියාවක් කරද්දී මනසට අත් වන ආතතිය බොහෝය. ‍
හිත සැහැල්ලු කරවන, හෝ වෙහෙස නිවන පොඩි කාලයක් හෝ දවසකට තිබේනම් මව්වරුන්ගේ මනස නිරවුල් ව තබා ගැනීමට හැකිවෙනු ඇත.

මව්වරුන් මෙලෙස දරුවන් හා දිවි නහගන්නා තත්වයට පත් වන්නේ නම් එය කොයි තරම් බරපතල කාරණයක් දැයි සමාජයක් වශයෙන් අපට දැනිය යුතු ය.
තනිව වෙහෙසෙන මව්වරුන් බොහෝ ය. බොහෝ විට සිදුවෙන්නේ... ඇය ගේ කාර්‍යය කළ යුතු, වගකීම් , යුතුකම්, හැමෝම කරනවා, ඉතින් ඔබත් කළ යුතුයි, කියා තවත් තෙරපීමයි.

සියල්ල ඉවසාගෙන කරනවා ඇරෙන්න විසඳුමක් නොදෙන සමාජයක අවසන ඔවුන් පුපුරා යෑමට ඉඩ ඇත. විමසිලිමත් වෙන්න , ඇයට උදව් කරන්න !

ස්වාමියා මිය යෑම,රැකියා විරහිත භාවය, කණස්සලු ස්වභාවය වැනි මේ කරුණු ගැන වඩා විවෘතව කතා කළ හැකි තැනක් හෝ ක්‍රමයක් අපට තිබිය යුතුය. තමන්ගේ සේවා ස්ථානයේ වැඩ කරන අය සඳහා, මනෝ වෛද්‍ය උපදෙස් සහ තක්සේරු කිරීම් සිදු කළ යුතුය. සමාජයේ හෝ ප්‍රදේශයේ, ක්ෂේත්‍ර රැකියාවෙහි නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා, ප්‍රදේශය බාර ප්‍රාදේශීය සෞඛ්‍ය සායනයේ වෛද්‍ය සායනය වෙත සියලු පවුල් වල ඇති ප්‍රශ්න සහ ගැටළු ගැන දැන ගැන්මට ලැබෙන යාන්ත්‍රණයක් ඇති කළ යුතුය. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පිරිස් ගැන, අහිතකර පරිසර වල ජීවත් වන අය ගැන , ඔවුන්ගේ මානසික ගැටළු සහ සාමාජීය ගැටළු ගැන මීට වඩා සොයා බැලිය යුතුය.

සමාජය මනෝ වෛද්‍ය ගැටළු සහ ඒවාට සහයෝගය සොයා යන්න ඔවුන්ගේ හිතේ මනෝ ව්‍යාධි ගැන ඇති භීතිකාව ඉවත් කළ යුතුය. එවිට මානසික ගැටළු හංගා ගැනීමට වෙර දරන භාවය අඩු වෙනු ඇත.

දරා ගැනීම් අපහසුම කාලයක අපි උනුන් වෙනුවෙන් දරා ගැනීමට වෙහෙසිය යුතුය

ඩැමේජ් වෙන්නේ ආටිස්ට්ලා විතරක් නොවේ... ඊට වඩා කම්පන සහිත සංසිද්ධීන් වලට මැදිහත් වන පිරිස බොහෝමයි. තත්‍ය ජීවිතවල දැනෙන කම්පනයන් දරා ගැනීම බොහෝ සෙයින් අමාරු කාර් යයක් වී අවසන පුපුරා යන ගැහැණු පිරිමි කොතෙකුත් හමුවේ. ඇතැම් අය ගැන කාලයක් කතා කර නිහඬවන සමාජයක පිපිරීම් මැද නොපිපිරී ඉන්න උත්සහ කරන්නේ කොහොමදැයි මම සිතමි.

(අවසරයකින් තොරව උපුටා නොගන්න !)

Thursday, October 12, 2017

ලියලා ලැබුණු ප්‍රශ්න !

ඔක්තෝම්බර් 7 වෙනිදා පැවති අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උත්සවයේදී, අන්තර්ජාලය තුල ලිවීම යන මාතෘකාව ඔස්සේ, නාලක ගුණවර්ධනයන් විසින් මෙහෙයවන ලද සංවාදය  අන්තර්ජාලය තුල සමාජ ජලාවල සංවාද සහ නිර්මාණාත්මක දෑ ලිවීම සම්බන්දයෙන් ඇති වුණු ගැටළු ගැන කතා බස් කෙරුණි.

එහිදී අප දිගු කාලයක් මුළුල්ලේ අන්තර්ජාලයේ ලියමනෙහි යෙදෙද්දී අප දුටු වෙනස්කම් සහ එහි පරිණාමය ගැන දීර්ඝ සාකච්ජාවක යෙදෙන ලදී.

මා අන්තර්ජාලය තුල ලියන්නට පෙළඹුනේ යහළුවන්ගේ දිරිමත් කිරීම් වලිනි. ෆෝරුම ඔස්සේ ලිවීමට එළඹි අතර ඉන් පසු බ්ලොග් සහ මුහුණු පොත හරහා නිර්මාණ හෝ ලිවීමේ කාර්‍යය ඉදිරියට ගෙන ගියා. බොහෝ මිතුරු මිතුරියන් පිරිසක් හඳුනාගත් අතර, ඒ හඳුනාගැනීම් දැනටත් වලංගුය.

එකල සම වයස් කාණ්ඩයක පිරිසක් සිටීමද, විවිධ විෂය ක්ෂේත්‍රවල රැකියාවෙහි හෝ අධ්‍යාපනයෙහි යෙදෙන්නන් පමණක් ඒවායේ ගැවසීමද විශේෂ ලක්ෂනයක් වුනා. එනිසා එහිදී සිදුවන සංවාද සහ සාකච්ජා බොහෝ විට සාධක පරීක්ෂන නිරීක්ෂන නිගමන යන විද්‍යාත්මක ක්‍රමවේදයන් සහිතව සිදු කළ හරවත් ඒවා වූවා. එමෙන්ම කෙනෙකු අපහසුතාවයට පත් කරන සුළු හෝ, අපහාස උපහාසයන් ඒවායේ දක්නට ලැබුනේ නෑ. අපි යම් සංවාදයක් පටන් ගත්තේම, "මා මේ ලියන්නේ කිසිවෙක්ට අපහාසයක් කරන්න නොවේ, හෝ අපහාසයක් ලෙස බාරගන්න එපා" යනුවෙනි.

නමුත් පසු කාලීනව මේ ගතිය සම්පූර්ණයෙන් වෙනස්වී තිබුන අයුරු පෙනේ.

එමෙන්ම සිංහල යුනිකේත අකුරු භාවිතය, ස්මාර්ට් ෆෝන් හෙවත් ජංගම දුරකථන වල පරිණාමය නිසා, අන්තර්ජාලය සියල්ලන්ටම විවෘත මාධ්‍යයක් විය. මේ නිසාම එය භාවිතා කරන මෙන් ම අවභාවිතා කරන පිරිසද වැඩි වූවා යැයි සිතේ.
මෙහිදී විශේෂයෙන් අන්තර්ජාල ය තුල නිර්මාණාත්මක ලිවීමේදී අප මුහුණ දෙන ගැටළු සහ නොයෙක් උපහාසයන්ට (trolls) නිස්කාරනේ ලක්වීම ගැන ද සාකච්ජා විය. මතවාදීව නොගැටෙන ,පුද්ගලවාදී ව කතාබහ කරන අයුරු දක්නටලැබෙන බව ගැටළු වලට මූලික වේ.

එමෙන්ම නිරන්තරයෙන් ගැටළුකාරී, කළහකාරී හැසිරීමක යෙදෙන පිරිස් නිසා වෘත්තීයවේදීන්ට අන්තර්ජාලය තුල පුද්ගලවාදයෙන් තොරව ලිවීමේදී විඳින්නටවන කරදර ගැනත්, අප කරන රැකියා සමග අන්තර්ජාල භාවිතයේදි ඇති දුෂ්කරතා ගැනත් අප කරුණු පැහැදිලි කළෙමු. ස්වයං වාරණය කරගන්නා අවස්ථා ගැනද අප කරුණු දක්වන ලදී

බ්ලොග් අඩවි වල ලියන බ්ලොග්කරුවන් දැන් ලියන්නේ නැතිවන තත්වයට පත් වීම ගැන ද ෆේස් බුක් ආගමනය සමග, එය විශාල සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට පෙළඹීම තුලින් බ්ලොග් කියවන සහ ලියන පිරිස ඒ වෙත ඇදී ගොස් ඇති බවද පෙනේ.
අන්තර්ජාල අවභාවිතය සම්බන්ධයෙන් නීති ඇතිදැයි ද ඒ මොනවාදැයි ද විමසීම් කළ අතර එදින අප සංවාදය හා සහභාගි වූ සියල්ලන් අතර හොඳ කතාබහක් ඇති වුණි.
මෙය හුදෙක් අන්තර්ජාලය තුල නිර්මාණකරනයේ සහ සමාජ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කිරීමේදී ඇතිවන ගැටළු ගැන සාකච්ජාකිරීමකි.

These are some of the points Ive extracted from the recent discussion on "evolution of online writing" held at the recent literature festival, Annasi & kadalagotu on october 7th at mount lavinia hotel. It was moderated by Mr.Nalaka Gunawardena.
We started online writing in an era when forums were used as tools for social interactions. Since we didn't have sinhala unicode, most of our conversations were in Singlish. Some of us typed in sinhala fonts, then copy pasted it on ms paint where subsequently images were made. Later we could simply post with the help of forum post tools which converted our Singlish into Sinhala.

I started from clublk.us forum when Vishwajith Dharmawardena posted few of my poems in a thread (conversation in forum) tagging me there. It was back in 2005 where I had zero computer literacy, but somehow found a way to retain my creativity and pace online for 12 years while making many friends for life. 
Three bilingual blogs and few news paper columns (Nations, Sannasa and Mawbima) have been maintained and when I look back, I feel contended about how I kept it humane and sane. 

Since 2010, I have been Blogging north end stories in my award winning blog "anith kona- the other end" and complied the blog postings into a book called " Anith kona - a doctors heart sutra" and a collection of poems named "Manupura sakmana". 

In our conversation about evolution of online writing, in the recent Annasi saha Kadalagotu, we discussed about the evolution of online writing and the challenges we face being real, original and some of us being female.

Back then, in forums,we were a generation who debated or discussed social issues constantly and often found ourselves entangled in a fact finding battle rather than proving a point. We used to start conversations saying "I hope I am not offending anyone, or no offence, or please don't misunderstand my intentions" and we had moderators and administrators who did sort of kept a friendly vicinity online and the majority who visited these forums were IT professionals and students who actually used internet for working purposes. 

When blogging became popular,I was among the first sinhala female bloggers who found it cozy to have my own space,but always wanted to find a purpose for my posts. Personally, I  thought I shouldn't fill the cyber space with my daily troll pops and rantings but to give a positive, valued and a valid content in which anybody could benefit.

With the out burst of modern technology, face book and sinhala unicode, in our countries, everybody had free access and the ability to converse in their mother tongue. This not only created connectedness but a self centered, ego boosting culture in which one find an unlimited freedom to write and share anything.

"As professionals, do you have restrictions when writing online?" and "Do you self-censor and on what instances ? were some of the interesting questions we had. Even though there is no law or code of conduct for internet, during this chat we understood that we do have our own self censorship and restrictions which we have created by and for ourselves.
Even though freedom of speech is only found online these days, we do restrict ourselves from commenting or expressing our opinions on certain issues. I firmly believe that any human being has the right to express their own view given the ethical and moral clearance of the content. This depends on the writer's soul or the nature of his/her heart.

We also  spoke about peers and the generations online, about social norms and how we see a replica of the society itself on face book. We talked about " How one gets discriminated due to gender and other factors"
It was a fruitful discussion and we had a great good input from the audience who expreased their views and insight to it.

Tuesday, October 10, 2017

සහවේදනය - empathy


ප්‍රශ්නය අපේ නොවන නිසා අපිට හරි ලේසියෙන් අනුන්ව
විවේචනය කරන්න
විනිශ්චය කරන්න
ඒ ගැන කතා කරන්න
ඒ ගැන තීන්දු දෙන්න
ඒගැන අදහස් දෙන්න
පුළුවන්, ඒ ප්‍රශ්නය අපේ නොවන නිසා.
සහවේදනය ඉගෙනුමට කාලය මෙය යැයි මට සිතේ.
It is easy for us
to judge one,
to talk about it,
to make conclusions,
to express views and opinions
to criticize it
Because the problem or issue is not ours !
අද වන විට සෞඛ්‍ය ක්ශේත්‍රය ගැනම සමාජයේ ඇත්තේ වැරදි හෝ කළකිරුණු ආකල්පයකි. වෛද්‍යවරු හිතන් ඉන්නේ ඔවුන් මහ ලොක්කෝ කියලා වගේ අදහසක් විටින් විට නැගේ. සමාජයේ ඇතැමෙක් වෛද්‍ය හෙද හෙදි සාත්තු සේවකයන්ට දේවත්වයෙන් සලකති. ඔවුන් බෙහෙවින් පීඩනයට පත් වූ කොහොමත් සමාජය විසින් පහතට හෙලන ලද අඩු ආදායම් ලාභී පිරිසය. නමුත් බහුතරයක මතය වෙනස්‍ ය.

අපිට රෝගියා මූලික කරගෙන කටයුතු කරන්නත් කතා බහ කරද්දී මෙන්න මේ ලෙස හැසිරෙන්නත් කියා දුන්නේ ශිෂ්‍ය අවධියේ සිට ය. ඒත් අපි හැම තැනකම රෝගීන් ව විනිශ්චය කරන්නත් , ඔවුන්ව දෝෂ දර්ශනයට ලක් කරන්නත් පටන් අරගෙන කියා හිතුනේ පවුල් සෞඛ්‍යය කාර්යාංශය (FHB) විසින් සංවිධානය කළ වැඩමුළුවකට සහභාගී වන විටය. මා එම උපදේශකයන් පුහුණු කිරීමේ වැඩමුළුවට සම්බන්ද වුනේ කැමැත්තෙන් නොවේ . හේතුව සතියේ දවස් පහේම "මව් කිරි දීම පිළිබඳ උපදේශනය කරන්නන් පුහුණු කිරීමේ පාඨමාලාව" කියන මේ වචන ටික කියවද්දිම දැනුනේ.. attachment positioning..ගැන සතියක් මොනවා කියවන්නද කියා ය. ඒවන විටත් අපි අති පණ්ඩිත කතා කියමින් මව්වරුන්ට කිරි දෙන හැටි ගැන කියමින් උන්නෙමු.
එහෙත්,
සහවේදනය යන වචනයේ බැරෑරුම්කම මා නැවත උගත්තේ එහිදී ය. රෝගියා මූලික කොට කටයුතු කරන, ඒවගේම ඊගෝ බැහැර කරන ලද සානුකම්පිත ආචාර ධර්ම එහිදී කියා දුනි. කොටින්ම ඒ දවස් පහ අතිශය බැරෑරුම් එහෙත් සූක්ෂම ලෙස අපව වෙනස් කරමින් සිටියා.
වාට්ටු වල බොහෝ විට අපි ඉන්නේ හිටගෙනය ඔවුන් ඉන්නේ ඉඳගෙන ය. ක්ලිනික් එකේ අපි ඉන්නේ හිඳගෙනය. මුලින්ම එක මට්ටමකට එන්න. ඔවුන් සමග එකම මට්ටමේ හිඳගන්න එතකොට ඔබ අණදෙන්නෙකු හෝ විනිශ්චයකාරවරයෙක් වෙන්නේ නෑ. අපට උපදේශන ඉගැන්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ධම්මිකා මහත්මියගේ කටහඬ මට තවම මතක් වේ. රෝගියා සහ ඔබ අතර බාධක ඉවත් කරන්න. ඇය පවසයි.
"අපෝ මොකෝ "
" පිටි කිරිද දෙන්නේ ?"
"බලන්න මේ ළමයගේ කෙට්ටු"
"ඔයා ඔහොමද කරන්නේ ?"
"බලන්න ඔයාගේ පිරිසිඳු කම"
"මේ අම්මට නම් කියලා වැඩක් නෑ"
වගේ ප්‍රශ්න අහන එක නතර කළ යුතු බව, ඔවුන්ව අපහසුතාවයට පත් නොකර ප්‍රශ්න අහන්න අපි විමසිලිමත් විය යුතු බව අපි උගත්තෙමු.
ඔවුන් අප අසලට එන්නේ සේවා දායකයකු ලෙසයි. අප සම්පත් දායකයෙකු විය යුතුයි.
එකිනෙකා ඉදිරියට ගෙන්වා නට්‍යානුසාරයෙන් අපට ලෙඩුන් වී අම්මලා වී , වෛද්‍යවරුන් වී අවාචික සන්නිවේදනය, වාචික සන්නිවේදනය සහවේදනය සහ අවශ්‍ය තො‍රතුරු දෙන හැටි, චෝදනා නොකර යෝජනා කර හැටි ඉගැන්වූවෝ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානයේ ප්‍රජා වෛද්‍යවරුන් ය.
මුහුණෙන් ඇස් වලින්, අත් වලින් පවා අවාචික සන්නිවේදනයකරමින් , රෝගියාට කිට්ටු වන හැටි, සහවේදනය කරන හැටි ඔවුන් අපට ඉගැන්වූවෝය.
"බලන්න ඔයා කොච්චර ලස්සනද "
" ඔයාගේ ඇඳුම හරි ලස්සනයි"
වෛද්‍ය බුද්ධිකා අපට ප්‍රශංසා කරන හැටි කියා දෙයි. එහෙම කීවම කෙනෙක් කොච්චර සතුටු වෙනවද ?
එය මා අත් දැකීමෙන් දනිමි. අනෙකා කෙරෙහි සතුටක් අපේ හිතේ ඇති කර ගත නොහැකි නම් අපේ හිත් නිතැතින්ම දූෂිතවේ. අප ආයතනවල අප අවට අප සමග රැකියාවේ යෙදෙන්නන් ගැන වුවද අපට සහවේදනය මගින් බොහෝ දේ කළ හැක.හිත් අසන්තෝස විට ඉක්මනින් බෝ නොවන ලෙඩ රෝග වලට පවා ගොදුරු වේ. ඒ බව මම අසමින් හිටියේ අර දේශන වලදී ය. ඉන්පසු එම පාඨමාලාව සිදුකරද්දී දේශකයෙක් ලෙස මම ද සහභාගී වීමි.
ඉතින් මේ උපදේශන ක්‍රමවේදය සහිත පාඨමාලාවේ මේ උපදේශනය සම්බන්ද කොටස හුදෙක් ළමා වෛද්‍ය අංශය හෝ මාතෘ අංශයට පමණක් සීමා නොකර අප වෛද්‍ය ක්ශේත්‍රයට එකතු වන සීමාවාසික හෝ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් වෙනුවෙන් පවත්වන්නට යෙදුනොත් (රෝහල් මට්ටමින් හෝ) කෙතරම් අගේ දැයි මට සිතේ. මානව හිතවාදී, සහවේදනය දන්නා, අනුන්ව විනිශ්චය නොකරන පිරිසක් වෘත්තීය වේදීන් ලෙස දැකිය යුතුය.
පවුල් සෞඛ්‍යය කාර්යාංශය තුලින් මේ සිදුකරන මහඟු කර්තව්‍යය ගැන බොහෝ දෑ ලිවිය හැකි වුනත් මා කෙටියෙන් ලීවේ අවශ්‍ය පණිවිඩය යා යුතු නිසා ය.

Sunday, October 1, 2017

වණ්ණ දාසි ඔස්සේ සමාජය කියැවීමි.




පුතේ අන්න අර පාරෙන් එද්දි අන්න අර ගෑණු ඉන්න අර හරියෙන් පාර පැනලා එහාපැත්තෙන් එන්න !
කොච්චරවත් මහල් නිවාස සංකීර්ණේ ඉන්න අපිට ඇසුණු වදන් පෙළක්.
“කතාකරාට කතා කරන්න එපා ! මූණ බලන්න එපා ! , හිනා වෙන්න එපා !”
කීව නිසාම ඒ හරියෙන් යද්දී දිව යන්නත්, ඔවුන් දිහා නොබලන්නත් පුරුදු වුනා. නමුත් ඒ මුහුණු මතකයේ තිබුණා.
එක්තරා ජනාකීර්ණ ටවුමක ජනාකීර්ණ මහමාර්ගයක තිබුණු අස්සයෝ රේස් ඔට්ටු අල්ලන තැනක පඩිපෙළේ හිටගෙන ඒ ගෑණු කිහිප දෙනා හැමදාම හිටියා. අපි උස් මහත් වුනා. කැම්පස් ගියා, වාහන වලින් ඒ පෙදෙස පහු කරන් ගියා.

“අර..නරක ගෑණු...” එයාලා දකිද්දී කාලයක් එහෙමම හිතුනා. ඔවුන් අදටත් ඒ හරියේ එහෙමම ඉන්නවා, අළුත් මුහුණු එකතුවෙලා තිබුනා.
පසුව අපි ලෝකය හා ගැටුනා, පරිණත වුනා. සමාජයේ සෑම ස්ථරයක මිනිස්සු එක්කම ගැටෙන්න වැඩ කරන්න සිදුවුණා. යුරෝපයේ ඉගෙනුම ලැබුවා, සමාජ සහ මානව ආචාර ධර්ම, මානව හිමිකම්,සානුකම්පිත වීම වගේ දේවල් වැඩියෙන් ඇහුනා. මේ අය මේ සමාජ ක්‍රමයේම වැරැද්දක් බව වැටහෙන්න ගත්තා.

කත්‍යානා අමරසිංහ මහත්මියගේ වණ්ණ දාසි පොත කියවද්දී, නැවත ඔවුන් මතක් වුණා. මේ සටහන ඇගේ ලේඛන විශිෂ්ඨත්වය ලියා දක්වන්න නොවේ ඇය පොත ඔස්සේ අප වෙත ගෙන එන, කම්පනයන් විමසීම සඳහාය. සුදු පිරුවට හැඳ සිටින සුදන සමාජයේ පුහු සුචරිතවාදයේ නිරුවත, කියැවීම සඳහාය.

වාට්ටු තුල අනන්තවත් නීලමනී ලා ඇඩ්මිට් උනා. අමා ලාත් හිටියා. දුවට හෝ පවුලට මේ ගැන කියන්න එපා කියලත් ඉල්ලුවා. speculum (යෝනි මාර්ගය විවර කර පෙන්වන උපකරණය) එකක් දාලා ඒ වගේ ලක්ෂනයක් පේන හැම විටම, “what is that” කියලා sir අහනවා. දැක්ක ගමන් හඳුනගන්න පුළුවන් ඒ තරම් ඒ දේ ඔවුන් අතර සුලබ යි. පොතේ ඒ ගැනත් ඕනෑ හැටියේ විස්තර කරනවා. ඒක කියවා හොයාගැනීමට කුතුහලය ඔබට ඉතිරි කරනවා.

නමුත් අදටත් මේ අයව “හොඳ” ජීවිත ගත කරන්නන් විසින් පිළිකුල් කරනවා. අපට අනියම් මාර්ග වලින් ඔවුන්ගේ රැකියාව ආරංචි වුනත්, ඔවුන් කීවොත් හැරෙන්න අපි විශේෂයෙන් විමසන්නේ නෑ. සමහරු ඒ දෙයින් මිදෙන්න උත්සහ කරනවා. ඒක ඔවුන්ට මුදල් ලැබෙන මාර්ගයක් විනා, වින්දනයක් නොවන බව කතක් එක් දිනක් හඬමින් පැවසුවා. ඒත් ඒ දේවල් වලින් ඔවුන්ට ජීවිතේ අවසාන කාලය දුක්විඳීම් උරුමකර තිබුණා.

නීලමනී කොයි තරම් උත්සහ කරත් ඇයට මේ සමාජ ගොහොරුව විසින් ඇයව ඔබා දැමූ මඩෙන් මිදෙන්නට බැරි වුණා. ඇය උත්සහ ගත්තත්, ඇගේ දියණිය වෙනුවෙන් වෙනත් රැකියාවක යෙදුනත්, සමාජයේ ඉන්නා සුදනන් විසින්ම ඇයව නැවත ඔසවා, ගොහොරුව තුලම ඔබා දමා තිබුණා.
මේවා මෙලෙස පවතින එක සමාජයේ ඇතැම් අයෙකුගේ පැවැත්ම වෙනුවෙන් සකස් කරගත් ඉල්ලම් වගේ යැයි මට සිතෙනවා. සියල්ල දේශපාලනික වූ සමාජයක නීතියෙන් පවතින්නාවූ බාධක මැද, ජනාකීර්ණ මාවත් තුල මේ ළියන් එදා වේල සොයා ගන්න විකුණන්නේ ඔවුන්ගේ ආත්මය කියලයි මට හිතෙන්නේ.
පිරිමියෙකුගේ හව් හරණක් නොමැති වුණු විට ගැහැණියක් කෙතරම් අසරණ වෙනවාදැයි මම මේ පොතෙන් කියවමි. ඒ වටා දිවෙන දේශපාලනික කතාව හිතා මතාම මග හරිමි. අමා, නීලමනී, මේ සියලු දෙනා සමාජ ක්‍රමයේ වැරැද්ද නිසා දුක් විඳින ගැහැණු ය.

යුරෝපයේ රටක මා දන්නා ස්ත්‍රියක් තම අවුරුදු හයක පුතනුවන් සමග තනි වෙනවා. ඇය ට රැකියාව පවා අහිමි වෙනවා. ඉන්පසු ඉතා දිගු කාලයක් ඇයව බලා ගන්නේ රජයෙන්. ඒ සඳහා ඇයට මාසිකව මුදලක් ලබා දී ඇයට සුදුසු රැකියාවක් සොයා දෙනවා. මේවාට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් වෙන් කෙරෙනවා. ඒ සඳහා ක්‍රමවේදයන් රජය හරහා සකස් වෙනවා.
නමුත් අපේ රටේ සිදුවෙන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක් නොවේ ද ? සමාජය ඇතැම් මිනිසුන්ට හිතකර වන්නේද ඇතැමුන්ට අහිතකර වන්නේද ඇයි දැයි මම විමසමි. වණ්ණ දාසි නවකතාවක් වුව ද එයින් පෙන්වන යථාර්තය සත්‍යය වශයෙන් සමාජයේ සිදුවන දෑය.

බුදු දහම මුදුන් මල්කඩ සේ පිළිගන්නවානම්, බුදු රදුන් පෙන්වූ අල්පේච්ජතාවය, සාමකාමීත්වය රැකගන්නේ නැත්තේ ඇයි දැයි මා විමසනවා. වෘත්තීය වේදීන් තුල තිබිය යුතු, ආචාර ධර්ම පද්ධතිය ඒ අයුරීන් සකස් නොවන්නේ ඇයි දැයි මා කල්පනා කරනවා.
අමාගේ මව නීලමනී, පිළිකුල් කරන්න සමාජයකට හැකි නම් (මූණේ දැලි ගෑ ලෙස කෑ ගසන නෑයින් මතක් කරගන්න) ඔවුන් ඒ අයව එතැනට ඇද දැමුවේ ඇයි දැයි සිතිය යුතු නොවේ ද ?

වණ්ණ දාසී මා දැඩිව කම්පනයට පත් කළ පොත කි. ඒ පණ ඇති නීලමනී ලා, අමා ලා ගේ ඉකිබිඳුම් සමාජයේ මෙන්ම වාට්ටුවලදී ද මා කොතෙකුත් අසා ඇති නිසා ය.

“ඔය ගෑණි බොරු කියන්නේ, රස්සාවට කරන්නේ අරකයි” කියා අප වෙත පණිවිඩ කියන්නට බොහෝ අය සැදී පැහැදී සිටි හැටි මට මතක් වේ.

මාලන් ගේ දේශපාලනය කුමක්දැයි මම නොවිමසමි. අමා ඒ මඩ ගොහොරුවේ කරවටක් ගිලී හෝ පිහිනා ගොඩ ආ සැටි කියවා සැනසෙමි. එහෙත් කවදා හෝ යළි එවැනි ගොහොරුවක ගිලෙන ගැහැණු සහ දැරිවියන් ගැන සිතා මම කම්පා වෙමි. මන්ද ජීවිත සහ කරුම යන සෙල්ලමේ තීරණාත්මක උරුමය සටහන් කරන්නේ මුදල් සහ බලය යන සාධක දෙක පමණක් බව හොඳාකාරව දන්නා නිසාය.

වෛද්‍ය බෝධිනී සමරතුංග

Friday, September 29, 2017

මොනවද කරන්නේ - දිවි නහගන්නවට !

සිය දිවි හානි කරගන්න හිතෙන අයට මොනවද කියන්න ඕනෙ කියලා කෙනෙක් අහනවා. මම නම් කියන්නේ හැකි ඉක්මනින් ඔබම,ඔහු හෝ ඇයව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකරන්න කියලයි. මේ කියන්නේ මනෝ වෛද්‍ය ඒකකයක වැඩ කළ වෛද්‍යවරයෙක් වෙන මමයි.
මම එහෙම කියන්නේ මනෝ වෛද්‍ය විෂය හෝ උපදේශනය සුළු කොට තකන්න පුළුවන් විෂයක් හෝ ක්‍රමවේදයක් නොවන නිසයි. කාගෙ හරි හිත හැදෙන්න කතා කරන්න පුළුවන් වෙන්න පුළුවන් ඒත්, ඒකෙන් ඒ පුද්ගලයා සම්පූර්ණයෙන් සුව වෙන්නෙ නෑ. කැස්ස හෙම්බිරිස්සාව නියුමෝනියාව වගේ තමයි. හොඳ කරගන්න නිසි ප්‍රතිකාර ලැබිය යුතුයි. අප වෙත එන රෝගීන් වුනත් උපදේශනය සඳහා අප විශේෂයෙන් උපදේශනය ගැන පුහුණුවලත් මනෝවිද්‍යා උපදේශකයන් වෙත යොමු කරනවා. ඔවුන්ව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කර තියෙනවා. එතකොට, ඒ වගේම මනෝ විද්‍යා සමාජ සේවක කියලා පිරිසක් ඉන්නවා (PSW) ඔවුන් එම ඒකක හරහා සමාජයේ සහ එහි එන පිරිසගේ සාමාජීය සහ පවුල්,ගෙවල් දොරවල් වල වගතුග වගේම ඔවුන්ගේ මනෝ ස්වභාවය ගැන බලපැවැත්වෙන කරුණු කාරණා සොයා බලනවා.

මනෝ විද්‍යා උපදේශනය හැමෝටම බෑ.ඒකට ඒ පුහුණුව ලැබූ අයටයි හැකියාව ඇත්තේ.එය අතිශය සංකීර්ණ කරුණක්.
මුහුණු පොත හරහා එහෙම වගකිවයුතු නිළයන් දරන සහ රැකියාවේ යෙදෙන අය කිහිප දෙනෙක් මා ද හඳුනනවා.
නමුත් එහෙම නොවන අයත් ඉන්නවා. අපි දන්න කෙනෙක්ට , එහෙම නොවන අයෙක්ගෙන් උපදෙස් ගන්න ගිහින් අලකලංචි ගොඩකට මැදිවෙන්න සිදුවුනා. එනිසා උපදේශනය හෝ මනෝවිද්‍යා,හෝ වෛද්‍ය උපදෙස් මුහුණුපොතෙන් ගන්නත් එපා , ළඟම රෝහලෙන් උපදෙස් පතන්න.
මනෝ ව්‍යාධි හෝ රෝග යනු බය විය යුතු ඒවා නොවේ.
ඔබටම තේරෙනවා ඇති මේ රටේ සමාජේ ප්‍රශ්න , ආර්ථික ප්‍රශ්න නිසා මිනිසුන් බොහොම ලොකු ආතතියකින් පීඩනයකින් ක්‍රියා කරන බව. හරියට මේ තත්ව වටහාගන්න හෝ මනස හසුරුවාගන්න කොහෙන්වත් කවුරුවත් කියා දෙන්නේ නෑ. හැම අතින්ම අපට පීඩනය පමණයි.  බොහෝ ගැහැණුන් මේ පීඩන නිසා මනෝ ව්‍යාධියෙන් පෙලෙමින් එහෙත් කෙසේ හෝ ජීවිතය ගෙවමින් සිටී.ඇතැමුන් පසු ප්‍රසව විෂාධිය වැනි තත්වයන්ට ගොදුරු වේ.

සියදිවි හානි කරගන්න හිතෙන එක ඕනේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් කියන කියමන වැරදියි. මම මෙහෙම කියන්නේ මානසික රෝග ඒකකයක වැඩ කරලා ඇති නිසා. අද මම දැක්කා එහෙම හිතෙන අයට කියවන්න හොඳ පොත් මොනවද කියලා කෙනෙක් අහලා තියෙනවා. Suicidal thought හෙවත් සියදිවි නසාගන්න අදහස් තියෙන බව ඔබට කිව්වොත් කරුණාකරලා ඒ පුද්ගලයා ගිලී ඉන්නා මනෝව වියාදියෙන් ඒ මොහොතේ හිත හදලා කියවලා කරන්න පුළුවන් ද නැත්නම් හිත සන්සුන් කරන්න, ඒ ඇවිස්සී අඩු වැඩි වී තිබෙන , මොළයේ හෝමෝන හෝ රසායනික ද්‍රව්‍ය අසමතුලිතතාවය මුලින් මැඩ පවත්වාගත යුතුද යන්න තීරණය කරන්න ඕනේ වෛද්‍ය විද්‍යාව දන්නා කෙනෙක්.

දිවි නසා ගන්න කෙනා එහෙම කරගන්නකම් කවුරුත් නොදැන ඉන්න පුළුවන්. ඒක මුහුණෙන් හෝ හිනාවෙන් කතාවෙන් මනින්න බෑ.
එනිසා කවරෙක් හෝ ආතතියෙන් හෝ පීඩනයෙන් සිටිනවානම්, දරාගත නොහැකි තරම් ප්‍රශ්න ඇත්නම්, ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියලා බැරිවෙලා හරි කියවුනොත්, කරුණාකරලා මනෝවෛද්‍ය ඒකකයකට හෝ රෝහලකට හෝ යොමු කරන්න. ඒකයි කළ යුත්තේ !
මේ ලියන මම මනෝ වෛද්‍යවරයෙක් හෝ මනෝ විද්‍යා උපදේශක කෙනෙක් නොවේ. එනිසා මට පණිවිඩ එව්වත් කියන්න වෙන්නෙ ළඟම රෝහලට යන්න කියන එකයි.

වෛද්‍ය බෝධිනී සමරතුංග
අනිත් කොන.

Tuesday, September 19, 2017

ඔය කෙල්ලෝ මොනවද දන්නේ !



ඔය කෙල්ලෝ මොනවද දන්නේ !
මෙය සිදුවී වසර කිහිපයකි, එනිසා ලියා තබන්නට සිත් විය.

උතුරේ කතා රැගත් අනිත්කොන පොත ගැන මා දන්නා හඳුනන අයෙක්, එක්තරා මහත්මියකට පැවසූ විට “අනේ ඔය කෙල්ලෝ මොනවා දන්නවද උතුර ගැන” යැයි පැවසූ බව ආරංචි විය.
ඒ මහත්මිය අපි මොනවා දන්නවා දැයි සැක පහල කළ අන්දම ගැන වැරැද්දක් මම නොදකිමි.
මොකද අපිත්,එහි යනකම්ම අනේ අපිමොනවා දන්නවාදැයි නොදැන සිටියෙමු.

ආච්චිලා පැමිණ " "තංගච්චී,ඩොක්ටර් අම්මා එංග ?" යැයි අසද්දී ( නංගී, දොස්තර කොහේද?)
"නාන් තාන් ඩොක්ටර්" යැයි කියද්දි...
මෙච්චර මේ කෙල්ලෝ කොහොමද දොස්තරලා වෙන්නේ යැයි ඔවුන්ද ඇස් ලොකු කරගෙන ඇසුවෝය.

දෙමළ වචනයක්වත් නොදැන එහි ගිය අපිට, දෙමළ ඉගෙන ගන්නටත්, ඉන්පසු ඔබ මෙහෙද අහන්න තරම් දෙමළකියවන්නටත් පුූලුවන් කළේ උතුර ය. එහි ගිය නිසා ය. “ඔයා දැන් සිංහල කතා කරන්නෙත් දෙමළ ඇක්සන්ට් එකකට ය කී අනුරාධපුර යහළුවෝ තවමත් ඒ කාලය ගැන මතක් කරති.

වවුනියාවේ සිට අපි බොහෝ විට අසාධ්‍ය ලෙඩුන් ගෙන ගියේ අනුරාධපුරය ට ය. එහි යන එන විට, අපට ලැබුනේ බොහෝ ලෙංගතු ආමන්ත්‍රණය. මේ කොනේ සිට රෝගීන් කෙසේ හෝ පණ ගන්වා , ගොඩ දාගෙන වෙහෙසී තවත් පැයක ගමනකින් එහි සැපැත් වෙන විට අපි බාගෙට මැරී සිටින්නෙමු. “ ඩොක්ටර් අන්න ඩොක්ටර්ස් රූම් එක, මූණ හෝදා ගන්න, මෙන්න පුටුව ඉඳ ගන්න “ වැනි සුහද ආමන්ත්‍රණ එහී දකින්නට ලැබිණි. වෛද්‍යවරුන් පවා උනුන් හා සුහදත්වයෙන් කටයුතු කෙරිණි.


යුද්ධය අවසානයේ දකින්න ලැබුනේ සියල්ල අහිමි වූ කොහෙන් කොහොම මේ අවුල ලිහා ගන්නේදැයි විමසූ සෙනග ගොඩවල් ය. එහි ගිය අපට දරන්නට සිදුවුනේ සියළු දේ අහිමි වූ මිනිසුන්ගේ අඳෝනා ය. උතුරේ ප්‍රධාන රෝහල් දෙකක සීමිත වෛද්‍යවරුන් සංඛ්‍යාවකගෙන් වැඩකටයුතු කළ යුතු වූයෙන් , ඇතැම් විට දවල්ට කන්න ලැබුනේ වඩයක් සහ මයිලෝ එකකි. එහෙමත් නැත්නම් උදේ අටේ සිට සවස හය දක්වා තියටර් ලිස්ට් එක ඉවර කරනකම් සැරෙන් සැරේ ලැබුන සීනි වැඩි තේ එකකි, පරිප්පු හෝ උළුඳු වඩයකි. හවසට බොහෝ විට එක කොත්තුව දෙකට බෙදන් කන්නේ එය ඒ තරම් විශාල නිසා ය.

උදේට නොකා කලන්තේ දමා එහි පැමිණෙන විශ්ව විද්‍යාල හෝ පාසැල් සිසුන් හට “ඔයාලා උදේ නොකා කලන්තේ දාලා එනවා. මගේ ඩොක්ටර්ස්ලා රෑට කාලත් නෑ, හරියට උදේට කාලත් නෑ, රෑ පුරාම ඇහැරගෙන ඒත් තාම වැඩ කරනවා”කියමින් කියූ විශේෂඥ වෛද්‍යවරියක් සිටියාය. මේවා මෙලෙස ලියන්න යැයි කියූවේත් විශේෂඥ වෛද්‍යවරුන්‍ ය.

එක් දිනක් මුළුල්ලේ අප හදිසි සැත්කම් පමණක් දහයක් කර තිබුණේ අතේ මතුවන කරගැට ද අමතක කරමිනි.

මුහුණ නොබැලූ එල් ටී ටී ඊ හිටපු සොල්දාදුවන්ද, මුහුණ බැලූ නමුත් සිංහල වචනයක් දොඩාගත නොහැකිව සිටි ගැහැණු මිනිසුන්ද, අපට අපේම අය වූයේ අනිත් කොනේ දී ය. ඒ අප ඔවුන්ගේ ජීවිත හා ගනුදෙනු කළ නිසා ය.


If u can bear to hear the truth u’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things u gave ur life to,broken,
& stoop & build’em up with wornout tools;

Radyard kipling

ඔව් අප දුටුවේ, රඩ් යාඩ් කිප්ලිං ගේ if යන කාව්‍යයේ සඳහන් පරිදි, සියල්ල බිඳ වැටුණු, සුන් බුන් වී ගිය පසු ඒ අළු මතින් නැගී සිට ජීවිතය වෙර දරන උන් ය. ආයුධ අත හැර ජීවිතය සෙවූ ඔවුන් ය. සිංහලයා නරකයි, බිහිසුණුයි ම්ලේච්ජයි කියා උගෙන, සිංහල වෛද්‍යවරුන්ගෙන් ජීවිතය ඉගෙන ගත් ඔවුන් ය. සිංහලයාත් දෙමළාත්, මුසල්මානුවාත් අපි හැමෝම, රෝහල් ගේට්ටුවෙන් එපිට උස්මිටි කම් තරාතිරම් නැතිව සාමාන්‍ය මිනිසුන් බවට පත් වන බව ඔවුන් උගත්තේ අපෙනි.

රෝගීන් පිරී ඉතිරී යන වාට්ටු වල හිත හදන් වැඩ කරන්නට සිදුවුනේ ඒ තරම් ජන ගඟක් පාලනය කිරීම හැරෙන්න වෙන විකල්පයක් නොවූ නිසා ය. ඔවුන්ට රෝහල යනු ඔවුන්ගේ දූකට සහනයක් වුණු තැනක් විය. ඔවුන්ගේ දුක් කරදරසියල්ලම එහි මුදා හැරියේ එනිසා වෙන්නට ඇති. ඒ අය ට යම්කිසි හෝ සහනයක් වූයේ රෝහල් වල සෞඛ්‍ය කාර් යය මණ්ඩලය බව නොරහසකි.

බත් කන්න අකමැති ආච්චිලාට ,සීයලාට, හැට් කලෙක්ෂන් දමා ( සල්ලි එකතු කර) ආප්ප හෝ ඉඳි ආප්ප ගෙනාවේ HO ල ය ( house officers).


මේ කතා මේ ලෙසින් ලියා තැබුවේ නැත්නම් නැවත මතක් කිරීමද අමාරු කාර් යයකි. ඒ තරම් විවිධ වූ සංසිද්ධි දාමයන්ගෙන් අනිත්කොන දවස් සැකසී තිබුනි. විඳින දකින දෑ හිතෙන්, හදවතින් ස්පර්ශ කරන්නට හැකි යාව ඇත්තේ සුළු පිරිසකට බව මම දනිමි. ඒ සුළු පිරිස මුදලට ලොබ බැඳන් ඒ කාර් යයන් හි යෙදෙන්නේ නැති නිසා තවමත්, මිනිසුන් ඔවුන් දේවත්වයෙන් සලකති.


වෛද්‍ය විද්‍යාව යනු ඉන්ද්‍රජාලික බලවේගයක් හෝ දේවත්වයක් නොවේ. එය හුදෙක් විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂන නිගමන ඔස්සේ පදනම් වුණු එකකි.


අප කරන්නේ අපේ සේවාව හරියාකාරව කිරීම ය. මේ ලියැවිලි වල එතෙන්නේ, සේවාව අතරතුර හදවතට දැනුණු මිනිස් හැඟීම් ය. ඒවා කිසි සේත්ම මට සිළිටු නොවේ.


අනිත්කොන කියැවිය යුත්තේ තරුණ පිරිසයි. වෛද්‍ය විද්‍යාව හදාරන්නට හිතන දරුවන් ද, වෛද්‍යවරුන් වෙන්න ඉගෙන ගන්න දරුවන්ද මේ පොත කියවිය යුතුම යැයි මම කියන්නේ, මගෙ අත් දැකීම් වලින් ඔබට ඉගෙන ගන්න යමක් තියේවි යැයි මා විශ්වාස කරන නිසා ය.

මම ලීවේ උතුරේ ප්‍රශ්න ගැන ය. මිනිසුන්ගේ ප්‍රශ්න ගැන ය. කකුල් , අත පය අහිමි වූ දරුවන් දැරියන් ගැන ය. අඩු වයසෙන් දරුවන් ප්‍රසූත කරන්නට වෙන දැරියන් ගැන ය. ළමා සොල්දාදුවන් ජීවිතය දිනන හැටිත්, හිටපු ත්‍රස්තයන්ගේ අඳෝනාත්, ඒ අතර තුර පිටු පිරවීය. හොර ගබ්සා මධ්‍යස්ථානවලට ගොස් අසාධ්‍ය වී එන, උතුරු කොනේ ගැහැණුන් ගැනත්, උතුරු කොන බොහෝ ප්‍රදේශ වල වැසියන් මුහුණ දී ඇති වකුගඩු රෝගයේ ඛේදාන්තයත්, මත් පැන් මත්ද්‍රව්‍ය වලට නතු වූ දරුවන් ගැහැණුන් මිනිසුන් ගැනත් ය. අපි දකින්නේම දුක පමණි. රෝග , මරණ, සමාජ අසාධාරණකම් ය.ආර්ථික යුද්ධයෙන් පෙළෙන මෙ රටේ දිළිඳුම පිරිස යන එන රෝහල් ය. ඇතැම් විට ඇඳුම් ගෙනත් දෙන්නත්, බත් වේලක් ගෙන දෙන්නත්, ගෙදර යන්න බස් එකට සල්ලි නැති නිසා අපි hat collection දමා සල්ලි එකතු කර දීපු කාලයක් ද විය.

අනිත්කොන පොතක් විය !
එනමුත් අනිත් කොන ගැන මේ තරම් පිරිස වද වුනේ හෝ පෝස්ට් වැටුනේද නැත. හොය හොයා ගොස් කියෙව්වේ ද නැත.  සමාජයේ අපිදකින අවැඩ අසාධාරණය සහ කම්පනය ගැන අපි වැන්නවුන් මුහුණු පොත බ්ලොග් සහ පොත් හරහා අපි ඕනෑවටත් වඩා මේ ප්‍රශ්න ගැන ලියමින් සිටින්නෙමු ! 

අපට කළ හැක්කේත් පාලකයන්ගේ හිත් ඇස් මෙදෙසට යොමු වන තෙක් ලියන්නට පමණි.
ඉතින් මහත්මියනි, මට ඔබේ වදන, සාහිත්‍ය ලෝකයේ හමුවන ප්‍රවීනයන්ගේ කතා අසා ඇති මට නම් පුදුමයක් නොවුණු බව කිව යුතුම ය. "ඔය කෙල්ලෝ මොනවද දන්නේ " කියා ප්‍රශ්න නොනගා පොත කියෙව්වා නම් ඔබට ඇත්තටම අපි එහි ගොස් කළ කී දෑ වැටහෙනු ඇතැයි මට සිතේ.

මුළින් මේ පොත් ජනගත නොවි පසුව මටම ඒ කාරිය කරන්නට වෙහෙසෙන්නට වූ නමුත් ඒ මහන්සිය සොඳුරු ය. මන්ද අනාගතයේ මේ රටේ තවත් යුද්ධයක් ඇති නොවෙන්නට, ජාතීන් එකිනෙකා යුද්ධ නොකරන්නට මනස හදන්නට මේ පොත ඉවහල් වෙන බවට මට සහතික නිසා ය.

අනිත් කොන සහ මනුපුර සක්මන
BMICH හිදී..

මිල රු 240/=, 160/=

සම පොත් J 286
සයුර පොත් H 11
කවි පොත් සල්පිල

ගෙදරටම ගෙන්වා ගැනීමට ග්‍රන්ථ, grantha.lk

Wednesday, September 13, 2017

ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද ?

වේදිකාව මත දිග හැරෙන වචන මගේ හදවත පසාරු කරගෙන යන්නට විය. මගේ ඇස් මුලට කඳුළු කැට පිරෙන්නට විය. මුහුණේ මාංශ පේෂීන් තද කරගෙන කඳුළු නවතාගන්නට ද හැඬුම් මැඩලන්නටද මට සිදු විය.

එක් වරම මා සිටියේ, වවුනියාවේ මහ රෝහලේ නාරිවේද වාට්ටුවේ ය. ළමා වාට්ටුවෙන් අප වෙත එවා තිබුනේ මවක් ළදරුවෙක් සහ අවුරුදු පහක පමණ දැරිවියක් ය.
ඇඳ ඉහ පතෙහි ලියා තිබුණු දේ දැක, මා වික්ෂිප්තව ඔවුන් දෙස බැලීමි, මව ළදරුවා තුරුළුකරගෙන කඳුළු පුරවාගෙන මා දෙස බලා සිටී. ඒ කුඩා දැරිවිය මව අසල එහෙ මෙහෙ දුවමින් හිඳී. මේ කතාව, එවකට විසි හත් හැවිරිදි මා සසල කළේ කෙසේද යත්, දින ගණනක් මට ඒ බිහිසුණු සිතුවිලි මනසෙන් ඉවත්කරන්නට නොහැකි විය. මා එක්වරම ඔසවා පොළොවේ ගැසුවාක් මෙන් විය.

“මම මේ බබා ලැබෙන්න රෝහල් ගත වෙලා හිටියේ, එතකොට තමයි මෙයාගේ තාත්තා මෙයාට මෙහෙම කරලා තියෙන්නේ” ඒ මව හැඬුම් අතරින් කියයි. ඒ දැරිවිය ගේ වයස අවුරුදු පහකි.

දරුවාට අප කියන දෙයක් හෝ අප අහන දෙයක් තේරුනේ නැත. ඇය ඇගේ ලිංගේන්ද්‍රිය පරීක්ෂා කර බලන්න කිසිවෙකුට අවසර දුන්නේද නැත. වේදනාව සමනය කරන්න බෙහෙත් දාන්න ඕනෑ යැයි මව විසින් ඇවිටිලි කර කියා අවසානයේ ඇය ඩොක්ටර් ඇන්ටී කෙනෙකුට පමණක් බලන්න දෙන්නම් කියා එකඟ කරගත්තෙමු. අප විශේෂඥ වෛද්‍යවරයා වෙත ඇය යොමු කළ විට, “මේ පොඩි කිරි සප්පයගෙන් මොනවා බලාපොරොත්තුවෙනවද ඒ මිනිහා. මනස විකෘති වෙච්ච තිරිසනෙක් වෙන්න ඕනේ.” විශේෂඥ වෛද්‍යවරයා තරහින් , ඉංග්‍රීසි බසින් බැන වදිමින් කුඩා දැරිය පරික්ෂා කළේ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ මතය ඉල්ලා සිටි නිසා ය. ඇයට මේ දේ කළ ඇගේම තාත්තා පොලිස් අත් අඩංගුවේය. මව අලුත උපන් බිළිඳා, සහ මේ පස් හැවිරිදි දැරිය ළමා වාට්ටුවේ නවතා ඇත.

කෙතරම් ආරක්ෂිත නිවසක වුනත් , යන එන හිතවත් නෑයින් මිත්‍රයින් අතින් අපචාරයට, ලිංගික හිංසනයට ලක්වන දරුවන් දැරිවියන් කොතෙකුත් දැයි මගේ හිත විස්සෝප වේ.

වේදිකාව මත සිටින, තරුණයා සහ තරුණිය අපට පවසන්නේ ඔවුන්ගේ ඒ අඳුරු ජීවිතයේ ශෝකාලාපය ය.

“ඔයාලා නම් සුරංගනාවියෝ, මම කිළිටිම කිළිටි වුන අපායේ යන කෙනෙක්” (you are  virgin angels, Im dirty and unclean)” පාසැලේ පල්ලියේ පිය ගැට පෙළ මත හිඳ දැරියක් හඬමින් සිටින දර්ශනයක් මගේ මනසෙහි ඇඳේ, ඇය වටා රොක් වී සිටින දැරියන් ඒ ඇයි දැයි ඇසන විට ඇය කඳුළු වගුරන අයුරු මගේ මනසේ සටහන් වී තිබේ. මිතුරන්ගෙන් අවබෝධ කරගන්නවා හෝ වැඩිහිටියන් කියා දුන්නොත් මිසක පාසැල් අධ්‍යාපනය තුලින් හරි හමං ලිංගික හෝ ප්‍රජනන සෞඛ්‍ය පාඩමක් නොවී ය. අපට ගෘහවිද්‍යාව ඉගැන්වූ ගුරුතුමිය අප ට නිරන්තරයෙන් ගැහැණු දරුවන්ගේ පරිස්සම ගැන ඔවදන් දුන් අතර ඇය අපට මවක් මෙන් විය.

“ඇයි ඇයි එහෙම කියන්නේ” දැරිවියක් ප්‍රශ්න කරද්දී, අර දැරිවියගේ දුක බෙදාගනිමින් සිටි තවත් දැරියක් කීවේ, “ඔයාලට මේවා තේරෙන්නෙ නෑ, ඔයාලා පොඩි වැඩී” , කියාය. මේවායේ බර පතල දිගු දුර මට දැනෙන්නේ දැන් ය. ඇගේම මාමා කෙනෙකු, නිතර ඇයව ලිංගික හිංසනයට පත් කළ බවත්, ඇගේ මව පිට රටක සිටි බවත්, ඉන්පසු මේ කතාව ඔස්සේ, ඇය ට පාසැල් ගුරුවරිය හරහා ආරක්ෂාව සහ උපකාර ලැබුණු බවත් මට මතක ය.
මෙවැනි කතා අනන්ත ය. තම සීයා අතීන් එවැනිම ලිංගික හිංසනයකට මුහුණ දුන් දැරියක් තමන්ගේ මවට ඒ ගැන පැවසූ විට කියා තිබුනේ “ ආ අපිටත් ඔහොම තමයි ඒක නෝමල් “ කියා ය. වාසනාවකට පාසැලේ ඇතැම් ගුරුවරියන්, අම්මාවරුන් මෙන් සෙනෙහස දක්වන නිසා ඔවුන් හා මේ කරදර කියන්නටත් ඉන් ගැලවෙන්නටත් ඇතැම් දැරියන්ට පුළුවන් කමක් තිබිණි. මා මෙතෙක් කල් ලියූ කතා වල දැරියන් ඔබට මතක් වෙනවා ඇත.

දරු දැරියන් ලෙස අපි පරිස්සම් විය යුතු බවත්, පිරිමි අයට අප ස්පර්ශ කරන්න නොදිය යුතු බවත්, කොටින්ම දන්නා හඳුනන පිරිමියකු ගේ අසල වුව වාඩි නොවෙන්න යැයි අම්මා නිතර කී බවත් මට දැන් මතකය ට නැගේ. ගෙදරට නෑයින් කවුරුන් හෝ පැමිණි විට, නංගීත් මාත් අම්මාගේ කාමරයේ නිදි කරවා ගෙන , දොර ලොක් කරන ඇය ගැන එකල අපි සිනහ වුණු නමුත්, දාඩිය දමාගෙන නිදන්නට වුණු නිසා ( අම්මාට විදුලි පංකාව අරහන් නිසා) ඇය හා උරණ වුණු නමුත් අප ආරක්ෂා කළ ඇය ගැන දැන් දැනෙන්නේ අපිරිමිත සෙනෙහසකි.

අල්ලපු ගෙදර අයියා, අන්කල් , මාමා,හෝ ගෙදර සේවකයා අතින් අපහරණයට ලක් වූ දරුවන්, ඒ දේ වැරදී කියා නොදන්නා , හයක් හතරක් නොතේරෙන වයසේ දැරිවියන්, මට කොතෙකුත් හමු වේ. කොටින්ම තමන්ගේ ඇඟේ අවයව පද්ධති ගැනවත් දැනුමක් නැති අවුරුදු තුන හතරේ දරුවන්, තමන්ගේ දෙමාපියන් සිටින ඒ නිවෙස් තුලම අපචාරයට ලක්වන සමාජයක් අප වටා ඇත.

“මලක පාට කුමක් දැයි කියා ගන්න බැරි දරුවාගෙන් උසාවියේදී නීතීඥයා අහනවා, what colour was your under wear ? එය සිදුවන වෙලාවේ ඔබ ඇඳ සිටි ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද? කියලා”

"ඒ සිදුවීම මට වගේම මගේ සහෝදරියන්ට සිදු වුනා.පසුව මම මගේ හිතේ පීඩනයෙන් ගොඩ එන්න මානසික වෛද්‍ය උපදෙස් පවා ගන්න සිදුවුනා. ඒක ඒ තරම්ම පීඩා කාරී යි"

වේදිකාව මත ගොඩ නැගෙන ඒ වචන වල කම්පනය, පදනම් ආයතනයේ බිත්ති පවා සසල කළ හැකි තරම් ප්‍රබල ය.

දිගු කළක් තිස්සේ ඒ කරුමය හිත දරන් ජීවිතේ අනෙක් පීඩන ජය ගන්න වෙහෙසෙන කුඩා මල් කැකුළු කොතෙකුත් දැයි මට සිතා ගන්නට පවා නොහැකිය. සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙක්, කුඩා කළ ලිංගික හිංසනයට පත් වූ අයෙකි යැයි, කියන ඒ වදන් පෙළ දැන් මගේ දෙසවනට වෑස්සේ. මා විසල් වූ නෙත් මුල් තෙත් කරමින් ගලා යන කඳුළට ඉඩ දුන්නේ, නාරිවේද වාට්ටු, ළමා වාට්ටු තුල මට හමුවුන ඒ කුඩා මල් පොඩිති වල දුක්බර මුහුණ මගේ මනසේ රූපාකාරයෙන් දිස් වෙද්දී ය.

වෛද්‍යවරුන් ලෙස අප කළ යුත්තේ මෙන්න මේ දේ යැයි නීති රීති අප වෙත සකස් කර ඇත. එහෙත් අප මේ දරුවන් ඉන් පසු බාරදෙන, ළමා ආරක්ෂක අධිකාරිය මේ දරුවන් වෙනුවෙන්  සිදු කළ යුතු කාර් යය භාරය විශාලය. එහෙත් !

එදින, එනම් සැප්තැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී "ළමා ආරක්ෂණ බලකාය" බල මුළු ගැන්වීමේ උත්සව සභාව ඇමතූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කියා ගත යුතු වුන දේ අපටත් වඩා හොඳින් උත්සව සභාව අමතා පැවසූ අතර, (පහත වීඩියෝව නරඹන්න) එම ශාලාවේ, ළමා ආරක්ෂන අධිකාරිය වෙනුවෙන් වෙන් කළ තිබුණු “හිස් පුටු” ඒ අහවල් අධිකාරියේ ස්වභාවය හොඳ හැටි පැවසූ බව අපට පසක් විය.



ළමා ආරක්ෂණ බලකාය ! child protection force, නමින් අප පාසලේම ඉගෙනුම ලැබූ නීතීඥ මිලානි සල්පිටිකෝරාල විසින් බල ගැන්වූ, මේ ආරක්ෂණ කණ්ඩායම, ළමයින් ආරක්ෂා කරන්නට, එවැනි හිංසනයට පීඩනයට පත් වූ දරුවන් දැරිවියන්, තවත් පීඩාවට පත් කරන සුළු වන නීති යාන්ත්‍රනයේ ඇති දරුණු පසු බෑම් සහ දරුවන් තව තවත් අසරණ කරවන සුළු වන ඒ සමස්ථ නීති පද්ධතියම හරි මගට යොමු කිරීමෙහි ලා ගත් සුවිශාල වැදගත් තීරණයකි.


ආදරණීය මිලානි නංගී, මට මතක්වෙන්නේ ඔබේ පාසැල් කාලයයි. මට වඩා වසර කීපයක් පහළ පන්තියක සිටි ඔබ තුලින් මා සුවිශේෂී, නායකත්ව ලක්ෂන දුටුවේ එකල සිට ය.  ඔබ අද මුළු මහත් සමාජයටම ආදර්ශයක් වී, ළමුන් වෙනුවෙන් සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන්නට විශාල පියවරක් දැනටමත් අරන් ඉවර ය. මා ලියන කතා ඔස්සේ,නිතර මා හා දොඩමළුවන නීතියෙන් කළ හැක්කේ කුමක් දැයි පවසන, ඔබ සමස්ථ දූෂිත යාන්ත්‍රණය වෙත බොහෝ ප්‍රායෝගික කනේ පහරක් එල්ල කරාට මම ඔබට ස්තූති වන්ත වෙමි.

“අයියෝ ඩොක්ටර්, අර අපි අවුරුදු දෙකකට කළින් ඉන්ෆෝම් කළ කේස් එක , inquiry කරන්න කෝල් කළේ මේ ඊයෙ පෙරේදා,මම කීවේ ඕකුන්ට කියලා වැඩක් නෑ” මේ මම අධිකාරිය ගැන ඇසූ වදන් ය. රාජ්‍ය යාන්ත්‍රණයේ අඩු පාඩු දැක දැක බැණ අඬගා ගනිමින් , ආතතියට පත්වෙමින් සේවය කරන්නට සිදුවීම කාලකන්නිකම කි යැයි මට සිතේ.

“නංගී මතකද , අපි බොහොම හිතේ අමාරුවෙන් හිටියා, ළමා අපයෝජනය සිදුවෙන පන්සලක හාමුදුරුවෝ ගැන, ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුනේ එයා අහවල් බලවතාගේ කෙනෙක් නිසානේ. ආණ්ඩු මාරු වෙච්ච ගමන්, ඒ චීවර දාරියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා , ඒ දරුවන්, ළමා නිවාසයට බාර කළා” උතුරු කොනේන් මා ඇමතූ අපේ ජේෂ්ඨ වෛද්‍යවරයෙක් මට පැවසුවේ 2015 දී ය. ඔව් , ඒ පොඩි හාමුදුරුවරු, සහ දරුවන් අපට කියූ දෑ, එම ටය. පන්සල් පල්ලි මූලික ඒ සමාජයේ සිදුවන එවැනි දූෂණ අපචාර ගැන වුවද මේ රට මර නින්දේ පසුවන බව පමණක් මම ලියා තබමි.

ඔව් මේ , අපේ රටේ ඇත්ත කථාව ය. දරුවන් මල් වගේ දරුවන් ආරක්ෂා කරගමු යැයි කොතෙකුත් පැවසුවද, අපේ ඇස් ඉදිරිපිටම දරුවන් ගේ ලෝකය විනාශ වෙමින් සිටී.

“මගෙ ටිකට් කපන්න නෝනා” අළුත උපන් බිළිඳා රැගෙන ඉක්මනින් ගෙදර දුවන්න වෙහෙසෙන මවක් අවසානයේ පැවසූයේ, තමන්ගේ දස හැවිරිදි දියණිය සිටින්නේ බීමත් සැමියා භාරයේ බව ත් ඇය දූෂණය වේ යැයි බියක් හිතේ ඇති වගත් ය.

මිනිස්සු මේවා කරන්න භය නැත්තේ ළමා අපචාර නීති රීදී දැඩිව ක්‍රියාත්මක වන සුළු නොවන නිසා යැයි මම කියමි.

ළමා අපචාරයන්ට ලක්වන දරුවන් සහ දෙමාපියන් බොහෝ විට මේ යාන්ත්‍රනයේ පවතින ගැටළුකාරී බව නිසා, දරුවන් උසාවි ගානේ, පොලිසි ගානේ ගෙනිහින්, අනෙක් පැත්තේ නීතීඥයින්ගේ ( දූෂිතයා වෙනුවෙන් පෙනී සිටින) ප්‍රශ්න හමුවේ තවත් අසරණ වෙන නිසා.
ඔවුන්ව උසාවියක් ඉදිරියේ, පිරිසක් ඉදිරියේ, ඔවුන්ට අත් දකින්න සිදුවූ ඒ දරුණු ඛේදවාචකය සිදු නොවුනැයි, ඔප්පු කරන්නට ඔවුන්ව තව තවත් කරදරයට පත් කරන නිසා, ඔවුන් ඇත්ත කියද්දී ඔවුන් බොරු කියන්නේයැයි ඔප්පු කරන්නට හදන නිසා, දරුවෝ ද දෙමාපියන් ද මේ යාන්ත්‍රනය ඔස්සේ යුක්තිය ඉටු කරගැනීමට මැලි වෙති. දරුවන්ගේ හිත, මනස ගැන සොයා බලන්නට මානසික වෛද්‍ය උපකාර හෝ, උපදේශනය ඔවුන් ට මෙහිදී ලැබෙනවා ද ? ඔවුන් මුහුණ දුන් ඔවුන්ටවත් නොතේරෙන ඒ කරුම සිද්ධිය ගැන ඔවුන්ගේ හිත හදන්න යමක් මේ යාන්ත්‍රණයෙන් සිදු කරනවා ද? නැත !

එහි දී අදහස් දැක්වූ මනෝ විද්‍යාඥ ආචාර් ය ෂාන්‍යා අබේනායක, පැවසූයේ එම මනෝ චිකිත්සක උපකාර යොමු කරවන යාන්ත්‍රනය ඉතා දුර්වල බව ය. ඇය මුහුණදුන් එවැනි සිදුවීමක් සහ දෙමාපියන් නීතිය හමුවේ කෙතරම් උකටලී ස්වභාවයක් පෙන්නුම් කරනවාද යන්නත් ඇය පැහැදිලි කළාය.


දරුවන් වෙනුවෙන් ජීවිතය දී ක්‍රියා කරන්නන් අපට අවශ්‍ය ය.

දරුවන් ගේ ජීවත සුරක්ෂිත කිරීමට හැකි පිරිස් අපට අවශ්‍යය.

දරුවන්ට සිදුවන මේ ඛේදවාචක ගැන ඔවුන් හෝ දෙමාපියන් නිහඬ නොවී සිටිය හැකි රාජ්‍ය යාන්ත්‍රනයක් අපට අවශ්‍ය ය.

ඔවුන්ගේ ඉදිරිය අඳුරු නොවන, කායික මානසික උපදේශන සේවාවක් අපට අවශ්‍ය ය.

දරුවන්ට සුරක්ෂිත සමාජයක් නැති නිසා, ඔවුන්ට ආරක්ෂා වීම ගැන කියා දීම අවශ්‍යය, ඔවුන්ගේ ලිංගික/ප්‍රජනන සෞඛ්‍යය ගැන සහ ඔවුන්ගේ නිවස තුලම ආරක්ෂා වීම ගැන ඔවුන්ට වටහා දීම අවශ්‍යය ( වෛද්‍යවරුන් වන අපට ඒ ගැන වඩා හොඳින් විවෘතව කතාබස් කළ හැකි නිසා අපේ සහය පාසැල් වලට ලබා ගත යුතු ය)

එනිසා ළමා ආරක්ෂක බලකාය ! ඔව් එය කාලීන සමාජ අවශ්‍යතාවය කි. ඊනියා ආගමික සදාචාරයක් ගැන පම්පෝරි ගැසුවාට මේ ලංකා පොළොව මත, හය හතර නොතේරෙන කිරි සප්පයින් ගොදුරු කරගන්නා, රකුසන් එමට ය, කරුමය නම් එවැන්නවුන් ඇතැම් විට ඔවුන්ට ජීවය දුන් පියවරුන් ය, එක්කුස උපන් සහෝදරයින් ය, ලේ නෑයින් ය, හිතවතුන් ය, ආරක්ෂාකාරීයැයි දෙමාපියන් සිතුවාට, එම නිවසෙහිම සිටිනා , යන එන රකුසන් ය.

මේ ළමා ආරක්ෂක බලකායේ ෆේස් බුක් පිටුව යි. පිවිසෙන්න
https://web.facebook.com/childprotectionforce/
එය වෙත, ඔබේ අදහස් උපකාර මේ වෙනුවෙන් ලබා දෙන්න.

අපි අපේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරමු !

Tuesday, September 5, 2017

සමාජයක් වශයෙන් අප පරාජිත ය.

සමහරු එක පාරම නින්දෙන් ඇහැරී ඇත. එහෙමත් නෙමෙයි, ඔවුන්ව ඇහැරවලා , සමාජයේ ගඳගහන අපිරිසිඳු යථාර්තය වෙත බලෙන් තල්ලු කර දමා ඇත.

මගේ ලිවීම ඒ තරම් ප්‍රබල ලෙස දැනෙන්නේ ඇයිදැයි සිතා වෙහෙස නොවන්න. මේ සැබෑ ලංකා සමාජ යේ නිරුවත ය. අපි රටක් වශයෙන් පරාජිත වී තිබේ, මනුෂ්‍යත්වය, කරුණාව සහ උසස් ජීවන තත්වයන් යන මේවා හීන වුණු රටක් සමාජයක් ලෙස අපි පරාජිතයන් වී අවසාන ය.

මාස ගණනක බිළින්ඳාගේ සිට මරණයට ළංවූ ආච්චි අම්මලා පවා දූෂණය වන සමාජයක, කුඩා දැරිවියන් ඒ දූෂකයාගේ දරුවන් ඇති දැඩි කළ යුතුයි, ඒක ඔවුන්ගේ කර්මය කියලා වටහා ගතයුතුයි, ඒ කර්ම ගෙවන්න ඒ දැරිවියන් හිත හදාගත යුතුයි කියා බණ ලියූ ගැහැණුන් පිරිමින් නොයෙක් තැන ලියන ද්වේශ බණ ඇස ගැටේ.

"ඇයි එයාලට මේ කර්මය මේ දහම, මේ දේව සැලැස්ම කියලා කියා දෙන්නේ නැත්තේ ? " කියා ඔවුන් විමසති. වෛද්‍යවරුන් ලෙස අප ආගමික, ජාතික බැඳීම් බිඳීම් ඉවත හෙලා, මනුෂ්‍යත්වය පෙරටු කරගෙන සේවය කරන්නෙමු. රෝහල්‍ යනු ඒ සියළු දෙයින් ස්වායක්ත වූ තැනකි. එනිසා අපි මනුෂ්‍යයන් වීමු.

සමාජයක් ලෙස අප  ප්‍රකෘති සිහියෙන් සිටිනවා ද?

බහුතරය තවම ජීවත් වෙන්නේ අපි කුඩා කළ ඉගෙන ගත් හෝ සිතන් සිටිය, " වැවයි දාගැබයි ගමයි පන්සලයි..." කියන සුන්දර සමාජයේ, 

එක් කොණකින් කොණට අනික් 
පයින් යතත් තරුණ කතක් ,
 මුළුවන් වූ කදිම රටක් 
ඇද්ද පුතේ මෙලක මිසක් 

කියා කළින් ලියූ කවියක් ඔළුවේ කොටාගෙන කියලයි මට සිතෙන්නේ.

ගැහැණියකට දැරිවියකට තමන්ට සිදුවන හිංසනයට විරුද්ධව සාධාරණයක් ඉෂ්ඨ කරගත නොහැකි නම් ඒ බිඳුණු ජීවිත සමග ඉදිරි කාලය මුළුල්ලේ තමන්ගේ ජීවිතය මළකඳක් සේ නිවාසයක ගෙවිය යුතු වේ නම් ඒ සමාජයේ මොන හොඳක් දැයි මා ඔබෙන් විමසමි.

දැරිවියන් තමන්ගේ නිවෙස් තුලම අපයෝජනය වී අප හමුවට ගෙන එනවා නම් ඒ සමාජය තුල ආරක්ෂාවක් තිබේ දැයි මම ඔබෙන් විමසමි.

රජයේ රෝහල් තුල , මේ දුක් කඳුළු පිට කරන ගැහැණුන් දැරිවියන් ගේ කතා හමුවේ ඔබ සසල නොවන්නේ නම් ඔබ මනුෂ්‍යයෙක් දැයි මම විමසමි.
මතවාදී වශයෙන් ගැටෙන්නට නොහැකි, ශිෂ්ඨ සම්පන්න නොවූ අන්තර්ජාල පරිහරනය කරන්නන් මා කොතෙකුත් දකිනවා.

රටක් වශයෙන් අපි පරාජිත ය, සමාජයක් වශයෙන් අප පරාජිත ය , පුද්ගලයන් වශයෙන් අප පරාජිත ය.

ආකල්පමය දියුණුවක් නැති කමින්, මනුෂ්‍ය ආචාර ධර්ම නැති කමින් අප සමාජය ම පරාජය වී ඇත.

එකිනෙකා නො ඉවසන සුළු වූයෙන්, කෝප වෛර පිට කරමින් වසුරු වගුරති.

කැතී ග්ලාස් ලියූ බිඳුණු බිළින්දා වැනි පොත්, කියවා ඒ ගැන කප්පරක් කතා කියමින් දුක් කඳුළු වගුරන, පොත්කියවන අයට වැනි ෆේස් බුක් පොත් සමාජ අස්සේ දුක කඳුළු කරන අයවළුන්, මෙවැනි බිඳුණු ජීවිත ගත කරන, කුඩා කළ සිටම, දූෂණයට , අවමානයට සහ ලිංගික හිංසන වලට ලක්වූ බිළිඳුන් දැරිවියන් සහ ගැහැණුන් ගැන මා ලියද්දී අවි අමෝරාගෙන එයි. ඒ ඔවුන්ගේ ඊනියා  "දැහැමි ලංකා සමාජ " සිතුවම බිඳී සුණු විසුණු වන නිසා ය.

කැතී ග්ලාස් ලියූ දැරිවියන් ගැන කම්පා වන ඔබට, ඔබේ රටේ ඔබේ සමාජයේ දුක් විඳින දරුවන් ගැන දැරිවියන් ගැන , හිත යොමු කරන්න බැරි ඇයි දැයි මම අසමි. ඔවුන් තමන් නො ඉල්ලූ තමන්ට දැරිය නොහැකි බරක් සමග අනාගතය අවුල් කරගෙන සිටිය යුතු දැයි මම අසමි. ඉහළට ඉගෙන ගන්න , හෝ නිසි රැකියාවක් ලබන්න හෝ, ජීවිතේ වැරදුණු තැනින් ගොඩ එන්න ඔවුන්ට උදව් කළ යුතු නොවේදැයි මම අසමි.

සමාජයේ නීති සකස් කරන්න යැයි ඔබට මට ලියා දක්වන්න පහසුය,නමුත් ඒ දේවල් ක්‍රියාත්මක කරවන්න ඔබ කළේ කුමක් දැයි මම අසමි.

මා රජයේ රෝහල් වල සේවය කරන අතර තුර, අප වෙත එන්නේ, අප සමාජයේ දරිද්‍රතාවයේ අඩියේම සිටින, අධික ලෙස දුක් විඳින පිරිසකි. ඔවුන්ට පුද්ගලික රෝහලකට හෝ සායනයකට යා ගත නොහැකි ය.

"බෙහෙත් බිව්වේ නැත්නම් ගෙදර යවන්නෑ " කියද්දී

" හා කමක් නෑ ඩොක්ටර් ඇන්ටී මම මෙහෙ ඉන්න කැමැතියි" කියන දරුවන් ය.

ඔවුන්ගේ ලෑලි ගෙවල් කුණු කඳු පිරුණු වත්තට, ඇඳක් මෙට්ටයක් නැති ගෙදරට වඩා ඉස්පිරිතාලේ ඇඳත්, නොමිලේ ලැබෙන බත් වේලටත්, බිස්කට් කෙහෙල් ගෙඩියටත් ප්‍රේම කරති.

ඔවුන් නිරන්තරයෙන් ලෙඩ දුක් කියාගෙන මෙහි පැමිණේ. එවැනි සමාජයක වෛද්‍යවරුන් හෙදියන්, සාත්තු සේවකයන්, මනෝ උපදේශකවරුන්, මොවුන්ගේ ප්‍රශ්න දරන්නට හිත හදන්නට, වෙහෙසෙති.
"අනේ ඩොක්ටර් මාව ගෙදර යවන්න එපා, තාත්තා බීලා එන්නේ හැමදාම රෑට" කඳුළු අතරින් ඩෙංගු වැළඳුණු දැරියක් කියූ කතාව ඔබට මතකදැයි මම අසමි. (බ්ලොග් පිටුවේ ලියා ඇත) 

ඔබේ දරුවා හෝ දැරිය සැනසීමෙන් නිදන අතර ඔබේ දරුවා බොහොම ආරක්ෂිතව සිටින අතර, ඔබේ දරුවා, නිසි පාසැල් අධ්‍යාපනයක් ලබන අතර, දූෂණයට ලක්වුණු දැරියකට, හිත හදා ගන්න , මේක ඔබේ කර්මය කියා ඔබ කියන්නේ කෙසේදැයි මම බොහෝ සසලවූ සිතැතිව කල්පනා කරමි. 
මම ද මවක් වන නිසා මගේ දරුවාට සිදු නොවිය යුතු දෙයක් වෙන දරුවෙක්ට සිදුවිය යුතු නොවේ යැයි මම තදින් විශ්වාස කරමි. නමුත් ඔබ එසේ බොහොම ලෙහෙසියෙන් , ඔහොම කියන්නේ කොහොමදැයි මම ඔබෙන් විමසමි. ඔව් ! මට අතිශය ද්වේශ බණ ලියා එවූ, ලංකා පොළව මතවත් නොසිටින ඊනියා මව්වරුන්ගෙන් මම විමසමි !

අනෙකාගේ කර්මය ඔවුන්ට විඳින්න බල කරන මේ සුදන වැසියන් තමන්ට කරදරයක් වුණු විට එසේ ඉවසන එකක් නම් නැත.
අප සමාජයක් වශයෙන් අපේ දරුවන් ගැන ප්‍රකෘති සිහියෙන් කටයුතු කරනවා ද ?

මවක් විසින් පසුගිය සතියේ අප වෙත අතිශය පීඩාකාරී ලිපියක් පත් කරා, ඒක ලියා තිබුනේ අවුරුදු 8 ක කුඩා දැරියක්

" මගේ ජීවිතේ තමා ලෝකේ තියෙන නරකම ජීවිතය කියා මට හිතෙනවා. ඇයි මට මේවගේ නරක ජීවිතයක් ලැබුනේ "
මේ වචන ඔස්සේ මගේ හිත කම්පා වුණු අයුරු මට ලියා ගන්නට පවා නොහැකියි. ඉතින් අපි තව දුරටත් අපේ මේ කුඩා මල් පොඩිති වල ජීවිත හොඳ අතට හරවන්නට, මහ පොළොවේ පය ගසා දහඩිය හෙළමු

ෆේස් බුක් බණ දෙසන්නන් කියන " මෙහෙමනීති ගෙනෙන්න මෙහෙම කරානම්හරි උපත් පාලනය ගැන අධ්‍යාපනයක් දෙන්න, අරක බොන්න මේකබොන්න" කියන ඒ සුරංගනාකතා වලින් දැහැමි සමාජයක් හැදෙන තුරු, මේ දරුවන් ගේ කම්පන අපි ම දරා ගෙන ඔවුන් ට පිහිටක් වන්නෙමු. 

ඇතැමුන් මේ දැන් ඇහැරුනාට මම මේ කතා ලීවේ 2010 සිට ය. ඇතැමුන් මේ දැන් ඇහැරුනාට අප ප්‍රායෝගිකව මේ සියල්ල දරමින් ඔවුන්ට සෙතක් සහනයක් සලසන්නේ ඒ තරම් බොහෝ කල් සිට ය. ඇතැමුන් මේ හදිසියේ ඇහැරුනාට , ලංකා සමාජය තුල ගැහැණුන් දැරිවියන් දරුවන් අපයෝජනය වේ, ලිංගික හිංසනයට ලක් වේ, ඉතා කුඩා කාලයේදීම දරුවන් දරා ඔවුන් ළමා නිවාස වල අත හැර යති. ළමා නිවාස වල ඉඩ මදි කම නිසා සමහර විට අප රෝහල් තුල ද ඔවුන් තබා ගැන්මට සිදුවේ.

ඔබ ප්‍රකෘති සිහියෙන් දැයි මම අසන්නේ එහෙයිනි. මනුෂ්‍යත්වයට ගරු කරන්න. එවිට ඔබ තුල සිටින බුදුන් , ජේසුන් හෝ දෙවියන් ඔබට සොයා ගත හැකි යැයි මම තරයේ විශ්වාස කරමි !


Sunday, August 27, 2017

මොකුත්ම කරන්න බෑ අම්මේ !

වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්‍රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ.

ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත්

"ඔයාගේ දරුවා හරියට වැඩෙන්නෙ නෑ අම්මේ, එයා ඉපදුනාම ජීවත් වෙන එකක් නෑ"

කියන වචන ටික එක්ක, මාස 9 ක් සම්පූර්ණ කරන්න ඒ අම්මලාට සිදුවෙනවා.

අනික් අම්මලා, ප්ලාස්ටික් කූඩ වලට, පොඩි ඇඳුම්, නැපී අඩුක් කරගෙන එද්දි එයා බොහොම දුක පිරුණු මුහුනෙන් ඇඳකට වෙලා බලන් ඉන්නවා එයාගේ ජීවත්වෙන්නෙ නැති විකෘතිතා ඇති දරුවා බිහි කරන්න. ඊට පස්සෙ කිරි එරෙන නමුත් එයාට ඒවා නවත්තගන්න වෙනවා.
" තදින් බ්‍රා එක්ක් අඳින්න අම්මේ, එහෙම නැත්නම් කිරි ගල් වුනාම බෙහෙත් දෙන්න වෙනවා, ඊළඟ බබා එහෙම වෙන එකක් නෑ " අපි කියනවා.
"මම කොහොමද තව ළමෙක් හදන්නේ හිත හදාගෙන, මට ළමයි එපා" ඇය තරහ අප දෙසට පිට කරනවා.
"ඩොක්ටර් ඒ අම්මා නම් ඩිප්‍රෙස් වගේ" මිඩ් වයිෆ් මිස්ලා නර්ස් මිස්ලා කොඳුරනවා.

ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා. තරහ යනවා. විෂාධියට ලක් වෙනවා. අපි මනෝවෛද්‍ය ඒකකයට ලියනවා. " looks depressed" ඒත් එහෙම නොවුනොත් නේද පුදුමේ. ඇයි මිනිස්සුන්ට මේ දුක දකින්න තරම් සංවේදී හෝ සානුකම්පිත විය නොහැක්කේ. මම නිතර හිතනවා. බොහෝ සංකූලතා හඳුනාගන්න තරම් තාක්ෂණය දියුණු වුනාට ඊට එහා යමක් කරන්න බැරි කමක් තිබුනා.

මේවා දැක දැකම මම ගර්භනී සමයක් පසු කළා, සායන වලට ලෙඩ දරුවන්, අතින් කරින් උස්සාගෙන, දර කොට වගේ අත පය වලංගු නැති උපත් ආබාධ සහිත දරුවන් උස්සන් එන අම්මලා දකිමින් මම ගර්භනී අවධියක් පසු කළා. ඇතැම් විට ඉපදුණු ගමන් ශ්වසන මෙවලම් හයි කරගෙන නොමේරූ ළදරු ඒකක වලට දරුවන් ගෙන ගියා. ඇතැම් දරුවන්, මොළය නැතිව, අත පය නැතිව, ඉපදෙනකොට, ඒවා බලන්න යන්න එපා කියා අනිත් වෛද්‍යවරුන් මාව ඒ වාට්ටුවේ වැඩ වලින් නිදහස් කළා.

මගේ මිතුරියක් එහෙම උපත් ආබාධ සහිතව අඩු සති ගණනකින් ඉපදුන දරුවා සමග දැන් විවිධ වූ කථන, කායික පුහුණු චිකිත්සා වලට දුවමින්, විශේෂ දරුවන්ගේ පාසැල් වලට දරුවා යොමු කරමින් යෙදෙන යුද්ධය මම දැක දැක. මනසින් බොහෝ වේදනා වින්දා.

ඒත් එහෙම දරුවෝ දිගටම ඉපදුනා.

මොකුත්ම කරන්න දෙයක් තිබ්බේ නෑ. "ඒක එයාලගෙ කර්මය" කියලා ෆේස් බුක් එකේ කී බෝඩ් වීරයෝ ලියලා තිබ්බා.

ඒත් සානුකම්පිත වෙන්න පුරුදු වෙච්ච හදවත් ඇති අපට මේ දේවල් මහ විශාල කම්පනයක් ගෙන ආවා.

මේ මම එවැනි මොළය රහිත දරුවෙක් උපදින කම්, ප්‍රසූතිකාගාරයේ බලාගෙන හිටපු හැටි... මෙහෙම සටහන් කරලා තිබුනා. මාස නමයක් දරු ගැබ සපිරුණත් අත පය ඇඟ මේ සේරම වැඩිලා තිබුනත් මොළය වැඩුනේ නැති නිසා ඒ දරුවා ඉපදී පැය කිහිපයකින් මැරුණා.


 feeling emotional.
Holding a heart in my hands while waiting for an anencephaly baby to be delivered ....heart throb ! I hate my job at times like this..
( හදවතක් අතේ දරාඑන මම , මොළය රහිත දරුවෙක් ඉපදෙනකම් බලාගෙන ඉන්නවා, හදවත කම්පා වෙනවා, මම මගේ රස්සාවට දැඩිව වෛර කරනවා මේ වගේ අවස්ථා වල - එහි තේරුම යි)

" මොකුත්ම කරන්න බැරිද " කියමින් තමන්ගේ එළියට නෙරා නොපෙනුන උදරය දිහා බලමින් අම්මලා කන් කෙඳිරි ගෑ අයුරු මතක් වෙනවා.

" අපි මොකද කරන්නේ අම්මා, රටේ නීතිය අනුව අපිට අම්මගේ ජිවිතේට හානියක් වෙනවනම් මිසක කළලයක් ඉවත් කරන්න බෑනේ" අපේ සර් පැහැදිලි කළා

"මගේ ජීවිතේට හානියක් තමයි " ඒ අම්මා අපිට කීවට ඒක බොහෝ අයට තේරුණේ නෑ කියලා දැන් මටත් තේරෙනවා.

නොවැඩුනු කළලයක්, සමග ඒ අම්මා හඬමින් ගෙදර ගියා. ඒ අම්මා ගෙදර ගිහින් එයා එකතු කරපු බඩු වීසි කරලා, යකා නටන්න ගත්තාම, කට්ටඬියෙක් ගෙනැවිත් නූල් බැන්දාලු. කවදාවත් අපේ සායනයකට ආවේ නෑ.

"එයා කොහොමද සතුටෙන් ආයේ සායන වලට එන්නේ. එයාට බලාගන්න හොඳක් තියෙනවද ? නෑනේ" මට එහෙම හිතුනා.

ඒ අම්මා ඒ දරුවා ප්‍රසූත කළත්, ඒ මාළුවෙක් සිහි ගැන්වෙන දරුවා, ( කකුල් දෙක එකට හා වෙලා, ඔළුවේ මොළය නෑ, පිට ඇරිලා, සුෂුම්නාව සහ ඇතුලේ කොටස් පේනවා ) ඇස් දෙක එළියට පැනලා තිබුනා. ඒ බබා බලලා තවත් කෑ ගහලා ඇඬුවා.
ඉන් පස්සෙ මම එයාව දැක්කේ මනෝ වෛද්‍ය සායනවලදී. මගේ කරුමෙට මම මනෝ වෛද්‍ය අංශයෙත් වැඩ කළා. ඒ අම්මාට දරුවා නැතිවීම දරා ගන්න බැරි වුනා.

එහෙම අම්මලා කොතෙකුත් හිටියා. එහෙම දරුවෝ කොතෙකුත් බිහි වුනා. ඉපදිලා බොහෝ සේ දුක් විඳ මිය පරලොව ගියා. ඒත් එයාලා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුනා !

එහෙම ළමයි බිහිවෙන්නෙ ඇයි මේ ලෝකෙට. ! අන්න ඒක මට නිතරම හිතුන දෙයක්. 

බොහෝ දුරට අපි ස්කෑන් වලින් මේ සංකූලතා අඳුන ගන්නවා. එවැනි දරුවන් බිහි වෙද්දි ළමා වෛද්‍යවරයාගේ සිට සියළු දෙනාට දන්වා තිබෙන්නෙ. ඒත් දැඩි සංකූලතා සහිත අය ජීවත් කරවන්න අමාරුයි. ඒ අය පැය කිහිපයක් පණ ඇදලා මිය යනවා. ඒක තමයි ඇත්ත.
ඒ අම්මලා තාත්තලා එහෙම මැරෙන දරුවන්ට , නමක් තියලා, නම රෙජිස්ටර් කරලා, පෙට්ටියක දාලා මිහිදන් කළ යුතු වුනා.

අනික අපේ රටේ කැපකරු මාපිය ක්‍රමයක් හෝ, හරි හමන් ළමයි අරන් හදාගන්න ක්‍රමවේදයක් නෑ. අරන් හදාගන්න අයත් අරගන්නේ කිසිම ආබාධයක් නැති, ලස්සන දරුවෝ. ඔව් ඒක තමයි කටුක යථාර්තය.
මේ ළමයි ඔක්කොම අන්තිමේ රජයේ ළමා නිවාස වල ගාල් වෙනවා. එහෙම දරුවෝ සැරෙන් සැරේ එයාලගේ ආබාධ නිසා අපේ රෝහල් වලට එවනවා.
එතකොට මට හමුවුන දරුවෙක් කීවේ " අපෙ අම්මා ඇයි මාව ඉපදුණු ගමන් මරලා දැම්මේ නැත්තේ ඩොක්ටර්, ඇයි මාව මෙහෙම දුක් විඳින්න අත ඇරලා ගියේ" කියලයි

මේවගේම ජානමය රෝගයකින් දුක් විඳින තරුණ දරුවෝ පිරිසක් මම දන්නවා. මම ඔවුන්ට යහළුවෙක් වගේ. කෙනෙක් අහනවා. "ඩොක්ටර් ඔයා ඔච්චර කත ලියනවා අපේ මේ දුක්බර ජීවිතේ ගැන ලියන්න බැරිද? " කියලා

මේවා මුහුණු පොතේ ලීවම, වෛද්‍යවරියක්ම අහනවා "එතකොට ඔයා හිතන්නේ මේ දරුවන්ව බඩේදිම මරන්නද ? " කියලා. ඒ කීව කෙනා ලිංමැඩි වෛද්‍යවරියක් වීමම මට තිබෙන දුක. අච්චර වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරලා,

පවුල් සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රසව හා නාරිවේද සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ජා තියලා කියද්දිත්, මෙච්චර දුක් විඳිමින් අම්මලා දරුවන් , ජීවිතේ නැති කරගන්න තරම් හිතද්දිත් අපි කොහොමද මේ කඳුළු දැක දැක, ඕක ඕගොල්ලොන්ගෙ කර්මය, ඔයා ඔය දුක විඳගන්න කියලා කියන්නේ ?

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත මීට පෙර සම්මත නොවූයේ දේශපාලන, ආගමික, සංස්කෘතික සහ සමාජයීය පීඩනයන් හේතුවෙන් බවයි. “නමුත් මව්වරුන්ගේ විඳවීම අවසන් කිරීමට මේ නීතිය අත්‍යාවශ්‍යයි. හැම අම්මා කෙනෙකුටම වේදනාවෙන් සහ පීඩාවෙන් නිදහස් වීමට අයිතියක් තිබෙනවා” යැයි ද වෛද්‍ය රත්නසිරි මහතා ප්‍රකාශ කළේය. 
-ඩේලි නිව්ස්


බෞද්ධාගමික පරිසරයක හැදුණු මම ද, ගබ්සාවට , ජීවියෙක් මරණ එකට විරුද්ධ නමුත්, මම වෛද්‍යවරියක් වෙලා, මේ දුක සහ මේ මිනිස් හදවත් වල සැබෑ ස්වරූපය දකින්න ගත්තම මම මගේ අදහස වෙනස් කර ගත්තා.

ලිංගික හිංසනයට පත් වූ කතුන් සහ දැරියන්, ඔවුන්ට අවශ්‍ය නැති කළලයක් දරාගෙන ඉන්න ඕනෑ නැති බව ඕනෙම කෙනෙක්ට තේරෙනවා. මරණීය ආබාධ සහිත දරුවන් මෙලෙස බිහි වුනත් මිය යන කළල යන මේ හේතු කාරණා දෙකේදී පමණයි අවසරය ලබා දෙන්නට හදන්නේ. ඒත් ඔබ මා හොඳාකාරවම දන්නවා දිනකට ගබ්සා විශාල ප්‍රමාණයක් හොර රහසේම සිදුකරන තැන් සහ පුද්ගලික ස්ථාන ඇති බව.

"අම්මෝ ඩොක්ටර් මම නම් කරන්න තියෙන ඔක්කොම ටෙස්ට් කරනවා" එක මිසී කෙනෙක් කියයි. අපි දෙන්නාම වීදුරුවෙන් පෙනෙන trisomy 21 ගෙවත් downs සින්ඩ්‍රෝමය ඇතිව ඉපදුණු දරුවෙක් රැඳි ඉන්කියුබේටරය අසල ඇති ඔක්සිජන් ප්‍රතිශතය මැනෙන උපකරණය දිහා බලාගෙන සිටියෙමු. මේ දරුවාගේ හර්ද සංකූලතා ද එමට ය. මේ අම්මාගේම පළමු දරුවාද, උපත් ආබාධ සහිතව, මන්ද මානසික තත්වයේ පසුවේ. දෛවය ඔවුන්ට බොහෝ සේ අකාරුණික වී තිබේ.

මේ අතර නිෆ්ටි, ට්‍රිපල් ටෙස්ට්, වැනි නම් වලින් බොහෝ ජානමය ලක්ෂන හඳුනා ගැනෙන රුධිර පරීක්ෂන ඇති හැකි පවුල් වල ගර්භනී මව්වරුන් කරගනු ලබයි. ඉතින් ජානමය ආබාධ උපත් ආබාධ ඇතැයි ඔප්පු වුනොත් ඒ කළල ඔවුන් තියාගෙන ඉන්නවා දැයි මම ඔබෙන් අසමි. !

ලිංගික හිංසනයට ලක් වූ අය, සල්ලි විය පැහැදම් කරන්නට නොහැකි වු අසරණ කාන්තාවන් මෙලෙස දුක් විඳින කල, ඇති හැකි අය පමණක් සැපෙන් සනීපෙන් දුක් නොවිඳ දරුවන් හැදිය යුතුයැයි පවසන ෆේස් බුක් ප්‍රජාව දෙස මා කම්පිතව බලා සිටින අතර මෙහෙම රටක අපි තවමත් මේ දරුවන් ගේ දුක දරමින් අම්මලාගේ දුක දරමින් වෙහෙසෙමු.

Thursday, August 24, 2017

ඇගේ ගර්භාෂය ඔබේ නොවේ !

මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල්  බොහෝ ය.
ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත මතකය ට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.
අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.
එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම නැතිව ඇය ආච්චී සමග විසූ අතර බඩු ගෙන එන්න කඩයට ගිය විට එම මුදලාලි විසින් ඇයට අතවර කර තිබුනා, පසුව ලැබෙන තෑගි බෝග නිසා ඇය කිහිප වරක් මෙලෙස අපයෝජනය වී තිබුනා. හරි හමන් ඉස්කෝල අධ්‍යාපනයක් නොලැබුණු මේ දරුවන් යන්තම් ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලය මේ වන විට එළඹ තිබුනා. නමුත් ඇයගේ බඩ ලොකු වෙන්න ගත් නිසා ආච්චි සමග රෝහලට ආපු ගමනේ දී ඇය දැනගත්තේ පිරිමියෙකු අරම කළහම මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව. එතකොට ඇයට මේ සංහදිය කළ වැඩිහිටි පිරිමියා ? ඔහු මෙහෙම වෙන බව නොදැන සිටියා වෙන්න බෑ.
නමුත් ඔහු කියා තිබුනේ ඇය බොරු කියන බව. අධිකරණ වෛද්‍ය සාක්ෂි කැඳවන්නට පොලීසියට පැමිණිලි දමා ඇය පරිවාසය ඔස්සේ කන්‍යාසොයුරියන් විසින් පාලනය කරන ළමා නිවාසයට බාර කර තිබුනා.
හඳුනා ගනිද්දී ඇගේ දරු ගැබට සති විසිපහක් වුනා. ඇය මේ වන විට අවුරුදු 13 විය එළඹ සිටියා.   ඇයට ඕනෑ වුනේ නෑ දරුවා. ඇය දරුවා පරිවාසයට බාර දුන්නා.
මට තවම මැවී පෙනෙන්නේ, ඇය වාට්ටුවේ ඇඳ මත සිට, හවස කාටූන් යන විට ටී වී එක දිහා බලන් ඉන්න හැටි. මම දහස් වර හිතෙන් හඬා වැටුනා. ඇතැම් විට පපුව රිදෙන්න තරම් ඒ කම්පන බලවත් වුනේ අපි මනුස්සයන් නිසා වෙන්න ඇති.
ඇය දරුවා ප්‍රසූත කරන්නට ආවේද මම වැඩ කරන වාට්ටුවටමයි. ඇයට ප්‍රසූත වේදනා එඅ විට විශේෂඥ වෛද්‍යවරයා කීවේ සාමාන්‍ය ආකාරයෙන් ප්‍රසූත කරවන්න පුළුවන් වෙයි. සැත්කමක් කරලා මෙච්චර පොඩි වයසෙම එයාට අසාධාරණයක් කරන්න ඕනේ නෑ කියලයි. (මෙයට වෛද්‍ය විද්‍යාත්මක හේතු තියෙනවා).
ඇය ප්‍රසව වේදනා දරා ගනු නොහැකිව කෑ ගහපු හැටි, දඟලපු හැටි මගේ හිතේ අදටත් කම්පනයන් ඇති කරන දර්ශන ලෙස මතකයට නැගෙනවා.
මට මතක් වෙනවා, තමන්ගේ තාත්තා විසින් දූෂණය කරන ලද දැරිවියන්. ප්‍රමාණය මතකයට නොනැගේ. ඒ තරම් හිත සසල කළ සිදුවීම් වෛද්‍ය සේවයේ යෙදෙන මට දරාගන්නට බැරි වුනා නම්, ඒ පොඩි හිත් වලට කොයිතරම් කම්පනයන් ගෙන ආවේ දැයි මට සිතේ.
එක් දැරිවියක් අප වෙත පොලිසියෙන් බාර දුන්නේ ඇගේ අවුරුදු 8ක කුඩා නැගණියද සමග ය. ඇය අවුරුදු 13 වයස් වූ අතර පියාගෙන් ලැබුණු තිලිණය සති 12 ක කළලයක් ලෙස වැඩෙමින් තිබුනා. මව ගෘහසේවිකාවක ලෙස මැදපෙරදිග රැකියාවකට ගිහින් තිබුනා.
අක්කාට මේ දේ කළත් ඇය නිහඬව සිටි අතර නංගීටද අතවර කළ පියා ගැන ඇය අසල්වැසි කාන්තාවක් මගින් පවුල් සෞඛ්‍ය සේවිකාවට කියා තිබුනා.
ඔවුන් දෙදෙනාගෙම ලිංඟාශ්‍රිතව, සමාජ රෝගයක ලක්ෂන වන සැරව බිබිලි තුවාල මතුවී තිබුනා.
"bastard ! , must have gone around too giving these innocent kids this disease" විශේෂඥ වෛද්‍ය තුමන් තරහින් පැවසූවේ මොවුන් පරීක්ෂා කරන අතර තුර.
වාසනාවකට, ඒ දැරිවිගේ කළලය ගබ්සා වුනේ ඇය රෝහල් ගතව සිටියදී.
අප ඇයට අත්වෙන්නට ගිය ඉරණම වෙනස් වූ බව ඇයට කියද්දී
"ඒක එහෙම වුන එක දේවාශිර්වාදයක්" ලෙස ඇය කීවා. ඔවුන් ගැන බොහෝ දුක හිතුනා.
මේ කතා ගොන්නෙන් කිහිපයක්. තව මෙවැනි ලියූ නොලියූ කතා බොහෝමයි.

ඊළඟට මට හමුවෙන ජාන විකෘති සහිත දරුවෙක්ට ජීවිතය ගැන කතා බස් කරද්දී " ඇයි ඩොක්ටර් මගෙ අම්මට මාව පොඩි කාලෙම මරලා දාන්න බැරි වුනේ " කියා මගෙන් ඇසුවා. ඔහුට දුක් විඳින්න, ළමා නිවාසෙක අත හැර ගිය මව ට ඔහු සදාකාලිකව වෛර කරමින් සිටියා.

තැලසීමියාව නම් ජාන රෝගය වැළදී සිටි දරුවන් සමග වැඩ කරද්දී එවැනි අක්කා නගෝ දෙන්නෙක් කීවේ, අපිට ජීවත් වෙන්න කොහෙත්ම ඕනෙ වුනේ නෑ ඩොක්ටර්, අම්මා උස්සන් ගිහින් ළමා වාට්ටුවේ තියාගෙන කොහොම හරි ජීවත් කෙරෙව්වා" කියමිනි.
"ඩොක්ටර් අපි කොච්චර දුක් විඳිනවද ! ඇයි ඔයාට අපේ කතා ලියන්න බැරි. " කියා මාස කිහිපයකට කලියෙන් ද මා කලින් වැඩ කළ ඒ වාට්ටුවල දැරියක් මා හමුවේ චෝදනා රැසක් ගෙන හැර පෑවා.

අප ළමා වාට්ටුවට, මානසික ඒකකයෙන් ළදරුවන් යොමු කරයි. මොවුන් ඇති දැඩි වෙන්නේ, සාත්තු සේවිකාවන්ගේ සෙවනේය. මව එක්කෝ හිර ගත වී ඇත, නැත්නම් මනෝව්‍යාධියකින් අසනීප වී දරුවා එපා කියා අයින් කර සිටී.
ළමා රක්ෂණ අධිකාරියේ ළමානිවාසයකට ගෙන යන තෙක් දරුවන් බාර කරන්නේ රෝහල් වලටය. එයින්ද මානසික ඒකකයට එවන පිරිසකුත් සිටී.

"මෙයාගේ අම්මා මානසික රෝගියෙක්. මේ ළමයා අරගෙන මෙයාගේ අම්මාගේ නංගි කෙනෙක් හිඟා කද්දී, එයාවයි ළදරුවාවයි අල්ලලා උසාවි දාලා, උසාවියේදි, මෙයා ඉදිරිපත් වෙලා අර මෙයාගේ පුංචිව නිදහස් කරලා, දැන් මෙයා තමා අත් අඩංගුවේ ඉන්නෙ. එතකොට මෙයා කියන්නේ එයා දන්නේ නැතුව ළමයා අරන් ගිහින් තියෙන්නෙ කියලා" අපෙ ප්‍රශ්න හමුවේ මේ කතා දිග හැරේ.
තමන්ට උවමනා නැති ඉරණමකට බලෙන් තල්ලු කරන ලද ගැහැණු සහ දැරිවියන් , ජීවිත කාලයක්ම තමන්ට අනවශ්‍ය දරුවෙක්ගේ බර දරාගෙන ජීවත් විය යුතු ද ?
අපේ රටේ එවැනි දරුවන් , මවට එපා කියන දරුවන්, සියල්ලෝම අන්තිමට නවතින්නේ, රජයේ ළමා නිවාසවල ය. හදා ගන්නට කෙනෙක් ඉදිරිපත් නොවුනොත් මොවුන් ඒවායේ උස් මහත් වේ.

එනිසා මේ සම්මත වුනු ගබ්සා නීති ගැන මේ මොහොතේ විරුද්ධව බණ කියන්න එන කවුරුන් හෝ වෙත්නම් ඔවුන් ගැන දැනෙන්නේ පිළිකුලකි.  මන්ද ඔවුන් හැමටම වඩා ,
මේ ගැහැණුන් සහ දරුවන් විඳින දුක හොඳින්ම දැකිය හැකි ඒකක කිහිපයක මා අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කරන නිසා ය.
ඔව් එය ජීවියෙක් කළලයක් වැනි බොහෝ තර්ක තිබෙනවා. එනමුත් කරදර කාරී ප්‍රතික්ෂේපිත පරිසරයක වැඩෙන්න සිදුවෙන ඒ දරුවා ඊට වඩා අමාරු ජීවිතයක් ගත කරනවා නොවෙ ද ?  මේ මව්වරුන් ට තනිව දරු බර දරන්නට වීමෙන් ඔවුන් පත් වෙන කරදරකාරී තත්වය ගැන අප සංවේදි වෙනවා ද ?

අප දකින්නේ පණ ඇති ගැහැණු ය. පණ ගැහෙන ජීවී ගැහැණියකගේ , ගැහැණු දරුවෙකුගේ ජීවිතය තමන්ට අනවශ්‍ය තමන් ඉල්ලූ නැති, කාටවත් වගකිව නොහැකි ජීවියෙකුගේ බරක් සමග ඉතිරි වෙනවා නම් ඒ දරුවා ඉන්පසු සමාජයේ නොයෙකුත් අකටයුතුකම් මැද දිවි ගෙවනවා නම් එය කොයි තරම් නම් සමාජ ඛේදවාචකයක්දැයි ඔබ මදකට සිතුවා ද ?
motherhood is a choice ! මාතෘතවය යනු ස්ව කැමැත්තක් !
අප හමුවට විවිධ වූ සංකූලතා ඇතිව , හොර ගබ්සා කරුවන්ගේ අලකලංචි නිසා අසාධ්‍ය තත්වයෙන් පසුවන ගැහැණුන්ද දරුවන් ද, පැමිණේ, මා විටින් විට ඔවුන් ගැන ලියා තැබුවා ඔබට මතක ඇති.
ජීවී වේවා අජීවී වේවා, ජීවත්වෙන්නට ඇති අයිතිය ගැන පඬි වදන් දොඩවන මහතුනි, නෝනාවරුනි, ඔබ අසල ඇති මහ රෝහලේ ප්‍රසව හා නාරි වේද ඒකකයට ගොස් ඇත්ත තත්වය වටහා ගන්න.
ඇගේ ගර්භාෂය ඇගේ ය. ඒ ගැන තීරණයක් ගැනීමට ඇයට නිදහස තිබිය යුතු ය !
මේ ගබ්සා නීති ගෙන ආවේ බොහොම සාධාරණ මානුෂීය හේතු සහිත කාරණා දෙකකදී ය ! එනිසා මම ඒවාට එකඟ වෙමි.
පසුගිය ලිපි

අවසානයේ සියල්ල දරන්න වෙන්නෙ අපටය https://anithkona.blogspot.com/2013/02/blog-post_27.html
ඉන්දියාවේ සිදුවීම ෆේස් බුක් හමුවේ https://anithkona.blogspot.com/2013/01/blog-post_12.html
ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද https://anithkona.blogspot.com/2010/07/blog-post.html
අනිත් කොන තනිවුණු ළමා මව්වරුන් https://anithkona.blogspot.com/2012/02/blog-post_28.html 
දැන් ඉතින් විසිකරන්න යෑ https://anithkona.blogspot.com/2016/01/blog-post_81.html
ආපසු හැරෙන්නට නොහැකිය https://anithkona.blogspot.com/2011/09/gender-based-violence.html

Tuesday, August 22, 2017

ඇතුලේ ඉන්නේ දොස්තර නෝනා !

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආකල්ප !

මේක වෙලා ටික කාලයක් නිසා මම හිතුවා මේ දේ ලිවීම වැරැද්දක් නෑ කියලා. මෙය එක් එක් පුද්ගලයාගේ වැරදි සෙවීමට ලියන්නක් නොවන බවත්, සමස්ථ වෛද්‍ය හෙද හෙදි සුළු සාත්තු සේවක යන කාර්යය මණ්ඩලයේම වෙනසක් සිදුවිය යුතු බව පමණක් හිතේ තියාගෙන ලියනා ලියවිල්ලක් බවත් මතක් කරනු කැමැතියි. මේ ලියන මම ද මගේ අඩු පාඩු හදාගෙන ඉදිරියට යනවා මිසක, සර්ව සම්පූර්ණ කෙනෙක් නොවේ.


එදින මා වාට්ටුවේ පිටුපස දොරෙන් ඇතුල් වුනේ යම් කිසි බර පොදියකුත් ඔසවාගෙනමය. මට අවශ්‍ය වුනේ වාට්ටුවේ සිටි හෙදියන්ට මා ආ බවට පණිවිඩය දීමට යි. ඇතුල් වෙද්දිම මා දුටුවේ වාට්ටුවේ මැදක සිටි සාත්තු සේවිකා දෙපලයි. මම අතින් සන් කර කතා කෙරුවෙමි. "මම ආවා කියන්න" කීවෙමි. ඔවුන් ගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන නැවත කතා කෙරුවෙමි. "මට එන්න බෑ ඔයා එන්න මෙතෙන්ට" යනුවෙන් ඔවුන්ගෙන් උස් හඬක් නැගිනි.

මා අඩි කිහිපයක් ඔවුන් වෙත යත්ම, හිස් අත් බදාගෙන පැමිණියේ "අයියෝ ඩොක්ටර් නේද, අපි හිතුවේ වාට්ටුවේ අම්මා කෙනෙක් " කියමිනි.


"ඇයි වාට්ටුවේ අම්මා කෙනෙක් නම් එන්නෙ නැද්ද ? හරිම වැරදියි ඔයාලා හැසිරුණු විදිහ. ඒ කොනේ දොර ළඟ අම්මා කෙනෙක්ට හදිසියක් වෙන්න බැරිද ? කලන්තයක් හරි, මොකක් හරි අනතුරක් වෙන්න බැරිද  ? කවුරු උනත් ඔයාලාට බලන්න තිබ්බා නේද ?"

මගේ ප්‍රශ්න හමුවේ ඔවුන්ගේ මුව අගුළු වැටී තිබිණි.

 "ඩොක්ටර් ඔය දේවල් ඔයාට හදන්න හෝ විසඳන්න බෑ මේ සිස්ටම් එකේ හැටියට" කියමින් මගේ කියැවීම් හමුවේ මිතුරු හෙදියක් අලගු තැබුවාය.

තව දිනක, මා වෛද්‍යවරුන්ගේ විවේක කාමරය ඉදිරිපිට සිටගෙන ඊළඟට සේවා මුරයට පැමිණෙන වෛද්‍යවරියට රෝගීන් ගැන කියද්දී, එදිනම සේවය සඳහා පැමිණි සනීපාරක්ෂක සේවිකාවක් මවෙත කඩන් පැන්නේ

"හා හා කෑ ගහන්න එපා ඔතන, දොස්තර නෝනා ඇතුලේ ඉන්නවා" කියමිනි.

රාත්‍රී වැඩ මුරයක් හමාර කරමින්, සැමියා බෑග් මළු කාර් රථයට පටවන අතරතුර මම, දරුවාද වඩාගෙන ෆෝන් එකෙන් කියවමින් සිටි අතර ඈ මා දුටුවේ වාට්ටුවේ මවක් ලෙසින් බව කියමින්, ඉන් පසු සති කිහිපයක් මගෙන් සමාව ඉල්ලුවාය. නමුත් ඒ සිදුවීම මටනම් සිනහ උපදවන සුළු වුන දෙයක් විය.

ඒ වුනත්  "වාට්ටුවේ අම්මෙක්ට උනත් එහෙම බනින එක සුදුසු නෑ " කියා මම ඇයට කරුණු පහදා දුන්නෙමි.

දැන් මට තව සිදුවීමක් මතකයට නැගේ. ඒ උතුරේ මා වැඩ කළ අනිත් කොන රෝහල ය. එහි අතිශය කාර් යය බහුල ප්‍රසව හා නාරිවේද ඒකකයේ, සිටියේ වෛද්‍යවරුන් හතර දෙනෙක් සහ විශේෂඥ වෛද්‍ය වරයා පමණි. එනමුත් සියල්ලෝම එකම කණ්ඩායම් හැඟීමකින් සේවය කළ නිසා පංගු පේරුවක් හෝ, මේ අපේ වැඩේ නොවේ කියා මැසිවිලි නැගීමක් මා දුටුවේම නැත. එදින නාරිවේද සායන පැවැත්වූයෙන්, මා සිටියේ, ස්කෑන් කාමරයේය. විටින් විට, ප්‍රසූතිකාගාරයේ වැඩට අපව කැඳවයි. මා ටිකකට කලින් පැමිණියේ දරුවෙක් ප්‍රසූත කළ මවකගේ යෝනියේ පිහිටි කැපුමක් සහ ඉරීමක් මැසීමෙන් අනතුරුව ය. මොහොතකින් මට මතක් වුනේ, ඔරලෝසුවත් මුද්දත් සින්ක් එක උඩ ගලවා තබා ආ බව ය. මම නැගිට විගහින්, අනෙක් වාට්ටුව දෙසට දිව්වෙමි. ප්‍රසූතිකාගාරයේ ජලකරාමය ළඟ සියල්ල නිරුපද්‍රිතව තිබිණි. මා ඔරලෝසුව බැඳන් හැරෙද්දී දුටුවේ, දොරටුව අල්ලාගෙන හති අරින හෙදිය යි. "අයියෝ ඩොක්ටර් දිව්වේ ඇයි" ඇය මගෙන් අසයි.

"මගෙ මුද්ද අමතක වුනා" මම විමතියෙන් උත්තර දුනිමි.

"අයියෝ මම ඔයා දුවනවා දැක්කම හිතුවා මෙහෙ හදිසි තත්වයක් කියලා. මාත් දිව්වා ඔයා පස්සෙන්,උදව්වෙන්න අයියෝ !" ඇය හති අරිමින් පවසයි. කියන්න කළින් සියළු දේ ගැන විමසිලිමත් ව සිටිති.ඇතැම් අය මෙයාකාරය. මම හිතන්නේ ආකල්ප අතින් අප සිටින්නේ ගොඩක් පහළ අඩියකයි ! මදුරුවෝ කනවා කියා කියූ සැනින්, කොහොඹ කොළ පොල් ලෙලි, රැගත් තාච්චියක් ට්‍රොලියක තියා හවස් වරුවේ වාට්ටුවල දුම ඇල්ලුවේ එහිදී ය. කියන එක පමණක් සෑහේ. ඉක්මනින් ක්‍රියාත්මක වේ.

දින කිහිපයකට කළින් හදිසි සැත්කමක් සිදු කර, දරුවෙක් ප්‍රසූත කරන ලදී. ඉපදුනේම මැරුණ ආකාරයෙනි, විගහින් දරුවා උණුසුම් කර, තට්ටු කරමින් ස්වසනය දෙන්නට සිදුවීදෝ බලද්දී "චෑස් ගාමින් හඬන්නට වූ නමුත්, හමේ වර්ණය, සහ අත් පය වල ගතියෙන් කියා පෑවේ අවුල් බවකි. එහෙත් මට සහය වන්නට සිටි හෙදියන් මා කියන්නත් ප්‍රථම සියළු දේ මවෙත ළංකරමින් ලොකු සහයක් දැක්වූ නිසා විනාඩි කිහිපයකින් දරුවා ප්‍රකෘති කරන්නට හැකි විය.

ජීවිත බේරා ගැනීම යනු හුදෙක් තනි පුද්ගලයෙකුගේ කාර් යයක් නොවේ. එය කණ්ඩායම් වැඩකි. කණ්ඩායම් හැඟීමක් නොමැති වුන කළ සාර්ථකත්වයක් නොමැති වේ.