Tuesday, September 19, 2017

ඔය කෙල්ලෝ මොනවද දන්නේ !



ඔය කෙල්ලෝ මොනවද දන්නේ !
මෙය සිදුවී වසර කිහිපයකි, එනිසා ලියා තබන්නට සිත් විය.

උතුරේ කතා රැගත් අනිත්කොන පොත ගැන මා දන්නා හඳුනන අයෙක්, එක්තරා මහත්මියකට පැවසූ විට “අනේ ඔය කෙල්ලෝ මොනවා දන්නවද උතුර ගැන” යැයි පැවසූ බව ආරංචි විය.
ඒ මහත්මිය අපි මොනවා දන්නවා දැයි සැක පහල කළ අන්දම ගැන වැරැද්දක් මම නොදකිමි.
මොකද අපිත්,එහි යනකම්ම අනේ අපිමොනවා දන්නවාදැයි නොදැන සිටියෙමු.

ආච්චිලා පැමිණ " "තංගච්චී,ඩොක්ටර් අම්මා එංග ?" යැයි අසද්දී ( නංගී, දොස්තර කොහේද?)
"නාන් තාන් ඩොක්ටර්" යැයි කියද්දි...
මෙච්චර මේ කෙල්ලෝ කොහොමද දොස්තරලා වෙන්නේ යැයි ඔවුන්ද ඇස් ලොකු කරගෙන ඇසුවෝය.

දෙමළ වචනයක්වත් නොදැන එහි ගිය අපිට, දෙමළ ඉගෙන ගන්නටත්, ඉන්පසු ඔබ මෙහෙද අහන්න තරම් දෙමළකියවන්නටත් පුූලුවන් කළේ උතුර ය. එහි ගිය නිසා ය. “ඔයා දැන් සිංහල කතා කරන්නෙත් දෙමළ ඇක්සන්ට් එකකට ය කී අනුරාධපුර යහළුවෝ තවමත් ඒ කාලය ගැන මතක් කරති.

වවුනියාවේ සිට අපි බොහෝ විට අසාධ්‍ය ලෙඩුන් ගෙන ගියේ අනුරාධපුරය ට ය. එහි යන එන විට, අපට ලැබුනේ බොහෝ ලෙංගතු ආමන්ත්‍රණය. මේ කොනේ සිට රෝගීන් කෙසේ හෝ පණ ගන්වා , ගොඩ දාගෙන වෙහෙසී තවත් පැයක ගමනකින් එහි සැපැත් වෙන විට අපි බාගෙට මැරී සිටින්නෙමු. “ ඩොක්ටර් අන්න ඩොක්ටර්ස් රූම් එක, මූණ හෝදා ගන්න, මෙන්න පුටුව ඉඳ ගන්න “ වැනි සුහද ආමන්ත්‍රණ එහී දකින්නට ලැබිණි. වෛද්‍යවරුන් පවා උනුන් හා සුහදත්වයෙන් කටයුතු කෙරිණි.


යුද්ධය අවසානයේ දකින්න ලැබුනේ සියල්ල අහිමි වූ කොහෙන් කොහොම මේ අවුල ලිහා ගන්නේදැයි විමසූ සෙනග ගොඩවල් ය. එහි ගිය අපට දරන්නට සිදුවුනේ සියළු දේ අහිමි වූ මිනිසුන්ගේ අඳෝනා ය. උතුරේ ප්‍රධාන රෝහල් දෙකක සීමිත වෛද්‍යවරුන් සංඛ්‍යාවකගෙන් වැඩකටයුතු කළ යුතු වූයෙන් , ඇතැම් විට දවල්ට කන්න ලැබුනේ වඩයක් සහ මයිලෝ එකකි. එහෙමත් නැත්නම් උදේ අටේ සිට සවස හය දක්වා තියටර් ලිස්ට් එක ඉවර කරනකම් සැරෙන් සැරේ ලැබුන සීනි වැඩි තේ එකකි, පරිප්පු හෝ උළුඳු වඩයකි. හවසට බොහෝ විට එක කොත්තුව දෙකට බෙදන් කන්නේ එය ඒ තරම් විශාල නිසා ය.

උදේට නොකා කලන්තේ දමා එහි පැමිණෙන විශ්ව විද්‍යාල හෝ පාසැල් සිසුන් හට “ඔයාලා උදේ නොකා කලන්තේ දාලා එනවා. මගේ ඩොක්ටර්ස්ලා රෑට කාලත් නෑ, හරියට උදේට කාලත් නෑ, රෑ පුරාම ඇහැරගෙන ඒත් තාම වැඩ කරනවා”කියමින් කියූ විශේෂඥ වෛද්‍යවරියක් සිටියාය. මේවා මෙලෙස ලියන්න යැයි කියූවේත් විශේෂඥ වෛද්‍යවරුන්‍ ය.

එක් දිනක් මුළුල්ලේ අප හදිසි සැත්කම් පමණක් දහයක් කර තිබුණේ අතේ මතුවන කරගැට ද අමතක කරමිනි.

මුහුණ නොබැලූ එල් ටී ටී ඊ හිටපු සොල්දාදුවන්ද, මුහුණ බැලූ නමුත් සිංහල වචනයක් දොඩාගත නොහැකිව සිටි ගැහැණු මිනිසුන්ද, අපට අපේම අය වූයේ අනිත් කොනේ දී ය. ඒ අප ඔවුන්ගේ ජීවිත හා ගනුදෙනු කළ නිසා ය.


If u can bear to hear the truth u’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things u gave ur life to,broken,
& stoop & build’em up with wornout tools;

Radyard kipling

ඔව් අප දුටුවේ, රඩ් යාඩ් කිප්ලිං ගේ if යන කාව්‍යයේ සඳහන් පරිදි, සියල්ල බිඳ වැටුණු, සුන් බුන් වී ගිය පසු ඒ අළු මතින් නැගී සිට ජීවිතය වෙර දරන උන් ය. ආයුධ අත හැර ජීවිතය සෙවූ ඔවුන් ය. සිංහලයා නරකයි, බිහිසුණුයි ම්ලේච්ජයි කියා උගෙන, සිංහල වෛද්‍යවරුන්ගෙන් ජීවිතය ඉගෙන ගත් ඔවුන් ය. සිංහලයාත් දෙමළාත්, මුසල්මානුවාත් අපි හැමෝම, රෝහල් ගේට්ටුවෙන් එපිට උස්මිටි කම් තරාතිරම් නැතිව සාමාන්‍ය මිනිසුන් බවට පත් වන බව ඔවුන් උගත්තේ අපෙනි.

රෝගීන් පිරී ඉතිරී යන වාට්ටු වල හිත හදන් වැඩ කරන්නට සිදුවුනේ ඒ තරම් ජන ගඟක් පාලනය කිරීම හැරෙන්න වෙන විකල්පයක් නොවූ නිසා ය. ඔවුන්ට රෝහල යනු ඔවුන්ගේ දූකට සහනයක් වුණු තැනක් විය. ඔවුන්ගේ දුක් කරදරසියල්ලම එහි මුදා හැරියේ එනිසා වෙන්නට ඇති. ඒ අය ට යම්කිසි හෝ සහනයක් වූයේ රෝහල් වල සෞඛ්‍ය කාර් යය මණ්ඩලය බව නොරහසකි.

බත් කන්න අකමැති ආච්චිලාට ,සීයලාට, හැට් කලෙක්ෂන් දමා ( සල්ලි එකතු කර) ආප්ප හෝ ඉඳි ආප්ප ගෙනාවේ HO ල ය ( house officers).


මේ කතා මේ ලෙසින් ලියා තැබුවේ නැත්නම් නැවත මතක් කිරීමද අමාරු කාර් යයකි. ඒ තරම් විවිධ වූ සංසිද්ධි දාමයන්ගෙන් අනිත්කොන දවස් සැකසී තිබුනි. විඳින දකින දෑ හිතෙන්, හදවතින් ස්පර්ශ කරන්නට හැකි යාව ඇත්තේ සුළු පිරිසකට බව මම දනිමි. ඒ සුළු පිරිස මුදලට ලොබ බැඳන් ඒ කාර් යයන් හි යෙදෙන්නේ නැති නිසා තවමත්, මිනිසුන් ඔවුන් දේවත්වයෙන් සලකති.


වෛද්‍ය විද්‍යාව යනු ඉන්ද්‍රජාලික බලවේගයක් හෝ දේවත්වයක් නොවේ. එය හුදෙක් විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂන නිගමන ඔස්සේ පදනම් වුණු එකකි.


අප කරන්නේ අපේ සේවාව හරියාකාරව කිරීම ය. මේ ලියැවිලි වල එතෙන්නේ, සේවාව අතරතුර හදවතට දැනුණු මිනිස් හැඟීම් ය. ඒවා කිසි සේත්ම මට සිළිටු නොවේ.


අනිත්කොන කියැවිය යුත්තේ තරුණ පිරිසයි. වෛද්‍ය විද්‍යාව හදාරන්නට හිතන දරුවන් ද, වෛද්‍යවරුන් වෙන්න ඉගෙන ගන්න දරුවන්ද මේ පොත කියවිය යුතුම යැයි මම කියන්නේ, මගෙ අත් දැකීම් වලින් ඔබට ඉගෙන ගන්න යමක් තියේවි යැයි මා විශ්වාස කරන නිසා ය.

මම ලීවේ උතුරේ ප්‍රශ්න ගැන ය. මිනිසුන්ගේ ප්‍රශ්න ගැන ය. කකුල් , අත පය අහිමි වූ දරුවන් දැරියන් ගැන ය. අඩු වයසෙන් දරුවන් ප්‍රසූත කරන්නට වෙන දැරියන් ගැන ය. ළමා සොල්දාදුවන් ජීවිතය දිනන හැටිත්, හිටපු ත්‍රස්තයන්ගේ අඳෝනාත්, ඒ අතර තුර පිටු පිරවීය. හොර ගබ්සා මධ්‍යස්ථානවලට ගොස් අසාධ්‍ය වී එන, උතුරු කොනේ ගැහැණුන් ගැනත්, උතුරු කොන බොහෝ ප්‍රදේශ වල වැසියන් මුහුණ දී ඇති වකුගඩු රෝගයේ ඛේදාන්තයත්, මත් පැන් මත්ද්‍රව්‍ය වලට නතු වූ දරුවන් ගැහැණුන් මිනිසුන් ගැනත් ය. අපි දකින්නේම දුක පමණි. රෝග , මරණ, සමාජ අසාධාරණකම් ය.ආර්ථික යුද්ධයෙන් පෙළෙන මෙ රටේ දිළිඳුම පිරිස යන එන රෝහල් ය. ඇතැම් විට ඇඳුම් ගෙනත් දෙන්නත්, බත් වේලක් ගෙන දෙන්නත්, ගෙදර යන්න බස් එකට සල්ලි නැති නිසා අපි hat collection දමා සල්ලි එකතු කර දීපු කාලයක් ද විය.

අනිත්කොන පොතක් විය !
එනමුත් අනිත් කොන ගැන මේ තරම් පිරිස වද වුනේ හෝ පෝස්ට් වැටුනේද නැත. හොය හොයා ගොස් කියෙව්වේ ද නැත.  සමාජයේ අපිදකින අවැඩ අසාධාරණය සහ කම්පනය ගැන අපි වැන්නවුන් මුහුණු පොත බ්ලොග් සහ පොත් හරහා අපි ඕනෑවටත් වඩා මේ ප්‍රශ්න ගැන ලියමින් සිටින්නෙමු ! 

අපට කළ හැක්කේත් පාලකයන්ගේ හිත් ඇස් මෙදෙසට යොමු වන තෙක් ලියන්නට පමණි.
ඉතින් මහත්මියනි, මට ඔබේ වදන, සාහිත්‍ය ලෝකයේ හමුවන ප්‍රවීනයන්ගේ කතා අසා ඇති මට නම් පුදුමයක් නොවුණු බව කිව යුතුම ය. "ඔය කෙල්ලෝ මොනවද දන්නේ " කියා ප්‍රශ්න නොනගා පොත කියෙව්වා නම් ඔබට ඇත්තටම අපි එහි ගොස් කළ කී දෑ වැටහෙනු ඇතැයි මට සිතේ.

මුළින් මේ පොත් ජනගත නොවි පසුව මටම ඒ කාරිය කරන්නට වෙහෙසෙන්නට වූ නමුත් ඒ මහන්සිය සොඳුරු ය. මන්ද අනාගතයේ මේ රටේ තවත් යුද්ධයක් ඇති නොවෙන්නට, ජාතීන් එකිනෙකා යුද්ධ නොකරන්නට මනස හදන්නට මේ පොත ඉවහල් වෙන බවට මට සහතික නිසා ය.

අනිත් කොන සහ මනුපුර සක්මන
BMICH හිදී..

මිල රු 240/=, 160/=

සම පොත් J 286
සයුර පොත් H 11
කවි පොත් සල්පිල

ගෙදරටම ගෙන්වා ගැනීමට ග්‍රන්ථ, grantha.lk

Wednesday, September 13, 2017

ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද ?

වේදිකාව මත දිග හැරෙන වචන මගේ හදවත පසාරු කරගෙන යන්නට විය. මගේ ඇස් මුලට කඳුළු කැට පිරෙන්නට විය. මුහුණේ මාංශ පේෂීන් තද කරගෙන කඳුළු නවතාගන්නට ද හැඬුම් මැඩලන්නටද මට සිදු විය.

එක් වරම මා සිටියේ, වවුනියාවේ මහ රෝහලේ නාරිවේද වාට්ටුවේ ය. ළමා වාට්ටුවෙන් අප වෙත එවා තිබුනේ මවක් ළදරුවෙක් සහ අවුරුදු පහක පමණ දැරිවියක් ය.
ඇඳ ඉහ පතෙහි ලියා තිබුණු දේ දැක, මා වික්ෂිප්තව ඔවුන් දෙස බැලීමි, මව ළදරුවා තුරුළුකරගෙන කඳුළු පුරවාගෙන මා දෙස බලා සිටී. ඒ කුඩා දැරිවිය මව අසල එහෙ මෙහෙ දුවමින් හිඳී. මේ කතාව, එවකට විසි හත් හැවිරිදි මා සසල කළේ කෙසේද යත්, දින ගණනක් මට ඒ බිහිසුණු සිතුවිලි මනසෙන් ඉවත්කරන්නට නොහැකි විය. මා එක්වරම ඔසවා පොළොවේ ගැසුවාක් මෙන් විය.

“මම මේ බබා ලැබෙන්න රෝහල් ගත වෙලා හිටියේ, එතකොට තමයි මෙයාගේ තාත්තා මෙයාට මෙහෙම කරලා තියෙන්නේ” ඒ මව හැඬුම් අතරින් කියයි. ඒ දැරිවිය ගේ වයස අවුරුදු පහකි.

දරුවාට අප කියන දෙයක් හෝ අප අහන දෙයක් තේරුනේ නැත. ඇය ඇගේ ලිංගේන්ද්‍රිය පරීක්ෂා කර බලන්න කිසිවෙකුට අවසර දුන්නේද නැත. වේදනාව සමනය කරන්න බෙහෙත් දාන්න ඕනෑ යැයි මව විසින් ඇවිටිලි කර කියා අවසානයේ ඇය ඩොක්ටර් ඇන්ටී කෙනෙකුට පමණක් බලන්න දෙන්නම් කියා එකඟ කරගත්තෙමු. අප විශේෂඥ වෛද්‍යවරයා වෙත ඇය යොමු කළ විට, “මේ පොඩි කිරි සප්පයගෙන් මොනවා බලාපොරොත්තුවෙනවද ඒ මිනිහා. මනස විකෘති වෙච්ච තිරිසනෙක් වෙන්න ඕනේ.” විශේෂඥ වෛද්‍යවරයා තරහින් , ඉංග්‍රීසි බසින් බැන වදිමින් කුඩා දැරිය පරික්ෂා කළේ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ මතය ඉල්ලා සිටි නිසා ය. ඇයට මේ දේ කළ ඇගේම තාත්තා පොලිස් අත් අඩංගුවේය. මව අලුත උපන් බිළිඳා, සහ මේ පස් හැවිරිදි දැරිය ළමා වාට්ටුවේ නවතා ඇත.

කෙතරම් ආරක්ෂිත නිවසක වුනත් , යන එන හිතවත් නෑයින් මිත්‍රයින් අතින් අපචාරයට, ලිංගික හිංසනයට ලක්වන දරුවන් දැරිවියන් කොතෙකුත් දැයි මගේ හිත විස්සෝප වේ.

වේදිකාව මත සිටින, තරුණයා සහ තරුණිය අපට පවසන්නේ ඔවුන්ගේ ඒ අඳුරු ජීවිතයේ ශෝකාලාපය ය.

“ඔයාලා නම් සුරංගනාවියෝ, මම කිළිටිම කිළිටි වුන අපායේ යන කෙනෙක්” (you are  virgin angels, Im dirty and unclean)” පාසැලේ පල්ලියේ පිය ගැට පෙළ මත හිඳ දැරියක් හඬමින් සිටින දර්ශනයක් මගේ මනසෙහි ඇඳේ, ඇය වටා රොක් වී සිටින දැරියන් ඒ ඇයි දැයි ඇසන විට ඇය කඳුළු වගුරන අයුරු මගේ මනසේ සටහන් වී තිබේ. මිතුරන්ගෙන් අවබෝධ කරගන්නවා හෝ වැඩිහිටියන් කියා දුන්නොත් මිසක පාසැල් අධ්‍යාපනය තුලින් හරි හමං ලිංගික හෝ ප්‍රජනන සෞඛ්‍ය පාඩමක් නොවී ය. අපට ගෘහවිද්‍යාව ඉගැන්වූ ගුරුතුමිය අප ට නිරන්තරයෙන් ගැහැණු දරුවන්ගේ පරිස්සම ගැන ඔවදන් දුන් අතර ඇය අපට මවක් මෙන් විය.

“ඇයි ඇයි එහෙම කියන්නේ” දැරිවියක් ප්‍රශ්න කරද්දී, අර දැරිවියගේ දුක බෙදාගනිමින් සිටි තවත් දැරියක් කීවේ, “ඔයාලට මේවා තේරෙන්නෙ නෑ, ඔයාලා පොඩි වැඩී” , කියාය. මේවායේ බර පතල දිගු දුර මට දැනෙන්නේ දැන් ය. ඇගේම මාමා කෙනෙකු, නිතර ඇයව ලිංගික හිංසනයට පත් කළ බවත්, ඇගේ මව පිට රටක සිටි බවත්, ඉන්පසු මේ කතාව ඔස්සේ, ඇය ට පාසැල් ගුරුවරිය හරහා ආරක්ෂාව සහ උපකාර ලැබුණු බවත් මට මතක ය.
මෙවැනි කතා අනන්ත ය. තම සීයා අතීන් එවැනිම ලිංගික හිංසනයකට මුහුණ දුන් දැරියක් තමන්ගේ මවට ඒ ගැන පැවසූ විට කියා තිබුනේ “ ආ අපිටත් ඔහොම තමයි ඒක නෝමල් “ කියා ය. වාසනාවකට පාසැලේ ඇතැම් ගුරුවරියන්, අම්මාවරුන් මෙන් සෙනෙහස දක්වන නිසා ඔවුන් හා මේ කරදර කියන්නටත් ඉන් ගැලවෙන්නටත් ඇතැම් දැරියන්ට පුළුවන් කමක් තිබිණි. මා මෙතෙක් කල් ලියූ කතා වල දැරියන් ඔබට මතක් වෙනවා ඇත.

දරු දැරියන් ලෙස අපි පරිස්සම් විය යුතු බවත්, පිරිමි අයට අප ස්පර්ශ කරන්න නොදිය යුතු බවත්, කොටින්ම දන්නා හඳුනන පිරිමියකු ගේ අසල වුව වාඩි නොවෙන්න යැයි අම්මා නිතර කී බවත් මට දැන් මතකය ට නැගේ. ගෙදරට නෑයින් කවුරුන් හෝ පැමිණි විට, නංගීත් මාත් අම්මාගේ කාමරයේ නිදි කරවා ගෙන , දොර ලොක් කරන ඇය ගැන එකල අපි සිනහ වුණු නමුත්, දාඩිය දමාගෙන නිදන්නට වුණු නිසා ( අම්මාට විදුලි පංකාව අරහන් නිසා) ඇය හා උරණ වුණු නමුත් අප ආරක්ෂා කළ ඇය ගැන දැන් දැනෙන්නේ අපිරිමිත සෙනෙහසකි.

අල්ලපු ගෙදර අයියා, අන්කල් , මාමා,හෝ ගෙදර සේවකයා අතින් අපහරණයට ලක් වූ දරුවන්, ඒ දේ වැරදී කියා නොදන්නා , හයක් හතරක් නොතේරෙන වයසේ දැරිවියන්, මට කොතෙකුත් හමු වේ. කොටින්ම තමන්ගේ ඇඟේ අවයව පද්ධති ගැනවත් දැනුමක් නැති අවුරුදු තුන හතරේ දරුවන්, තමන්ගේ දෙමාපියන් සිටින ඒ නිවෙස් තුලම අපචාරයට ලක්වන සමාජයක් අප වටා ඇත.

“මලක පාට කුමක් දැයි කියා ගන්න බැරි දරුවාගෙන් උසාවියේදී නීතීඥයා අහනවා, what colour was your under wear ? එය සිදුවන වෙලාවේ ඔබ ඇඳ සිටි ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද? කියලා”

"ඒ සිදුවීම මට වගේම මගේ සහෝදරියන්ට සිදු වුනා.පසුව මම මගේ හිතේ පීඩනයෙන් ගොඩ එන්න මානසික වෛද්‍ය උපදෙස් පවා ගන්න සිදුවුනා. ඒක ඒ තරම්ම පීඩා කාරී යි"

වේදිකාව මත ගොඩ නැගෙන ඒ වචන වල කම්පනය, පදනම් ආයතනයේ බිත්ති පවා සසල කළ හැකි තරම් ප්‍රබල ය.

දිගු කළක් තිස්සේ ඒ කරුමය හිත දරන් ජීවිතේ අනෙක් පීඩන ජය ගන්න වෙහෙසෙන කුඩා මල් කැකුළු කොතෙකුත් දැයි මට සිතා ගන්නට පවා නොහැකිය. සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙක්, කුඩා කළ ලිංගික හිංසනයට පත් වූ අයෙකි යැයි, කියන ඒ වදන් පෙළ දැන් මගේ දෙසවනට වෑස්සේ. මා විසල් වූ නෙත් මුල් තෙත් කරමින් ගලා යන කඳුළට ඉඩ දුන්නේ, නාරිවේද වාට්ටු, ළමා වාට්ටු තුල මට හමුවුන ඒ කුඩා මල් පොඩිති වල දුක්බර මුහුණ මගේ මනසේ රූපාකාරයෙන් දිස් වෙද්දී ය.

වෛද්‍යවරුන් ලෙස අප කළ යුත්තේ මෙන්න මේ දේ යැයි නීති රීති අප වෙත සකස් කර ඇත. එහෙත් අප මේ දරුවන් ඉන් පසු බාරදෙන, ළමා ආරක්ෂක අධිකාරිය මේ දරුවන් වෙනුවෙන්  සිදු කළ යුතු කාර් යය භාරය විශාලය. එහෙත් !

එදින, එනම් සැප්තැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී "ළමා ආරක්ෂණ බලකාය" බල මුළු ගැන්වීමේ උත්සව සභාව ඇමතූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කියා ගත යුතු වුන දේ අපටත් වඩා හොඳින් උත්සව සභාව අමතා පැවසූ අතර, (පහත වීඩියෝව නරඹන්න) එම ශාලාවේ, ළමා ආරක්ෂන අධිකාරිය වෙනුවෙන් වෙන් කළ තිබුණු “හිස් පුටු” ඒ අහවල් අධිකාරියේ ස්වභාවය හොඳ හැටි පැවසූ බව අපට පසක් විය.



ළමා ආරක්ෂණ බලකාය ! child protection force, නමින් අප පාසලේම ඉගෙනුම ලැබූ නීතීඥ මිලානි සල්පිටිකෝරාල විසින් බල ගැන්වූ, මේ ආරක්ෂණ කණ්ඩායම, ළමයින් ආරක්ෂා කරන්නට, එවැනි හිංසනයට පීඩනයට පත් වූ දරුවන් දැරිවියන්, තවත් පීඩාවට පත් කරන සුළු වන නීති යාන්ත්‍රනයේ ඇති දරුණු පසු බෑම් සහ දරුවන් තව තවත් අසරණ කරවන සුළු වන ඒ සමස්ථ නීති පද්ධතියම හරි මගට යොමු කිරීමෙහි ලා ගත් සුවිශාල වැදගත් තීරණයකි.


ආදරණීය මිලානි නංගී, මට මතක්වෙන්නේ ඔබේ පාසැල් කාලයයි. මට වඩා වසර කීපයක් පහළ පන්තියක සිටි ඔබ තුලින් මා සුවිශේෂී, නායකත්ව ලක්ෂන දුටුවේ එකල සිට ය.  ඔබ අද මුළු මහත් සමාජයටම ආදර්ශයක් වී, ළමුන් වෙනුවෙන් සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන්නට විශාල පියවරක් දැනටමත් අරන් ඉවර ය. මා ලියන කතා ඔස්සේ,නිතර මා හා දොඩමළුවන නීතියෙන් කළ හැක්කේ කුමක් දැයි පවසන, ඔබ සමස්ථ දූෂිත යාන්ත්‍රණය වෙත බොහෝ ප්‍රායෝගික කනේ පහරක් එල්ල කරාට මම ඔබට ස්තූති වන්ත වෙමි.

“අයියෝ ඩොක්ටර්, අර අපි අවුරුදු දෙකකට කළින් ඉන්ෆෝම් කළ කේස් එක , inquiry කරන්න කෝල් කළේ මේ ඊයෙ පෙරේදා,මම කීවේ ඕකුන්ට කියලා වැඩක් නෑ” මේ මම අධිකාරිය ගැන ඇසූ වදන් ය. රාජ්‍ය යාන්ත්‍රණයේ අඩු පාඩු දැක දැක බැණ අඬගා ගනිමින් , ආතතියට පත්වෙමින් සේවය කරන්නට සිදුවීම කාලකන්නිකම කි යැයි මට සිතේ.

“නංගී මතකද , අපි බොහොම හිතේ අමාරුවෙන් හිටියා, ළමා අපයෝජනය සිදුවෙන පන්සලක හාමුදුරුවෝ ගැන, ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුනේ එයා අහවල් බලවතාගේ කෙනෙක් නිසානේ. ආණ්ඩු මාරු වෙච්ච ගමන්, ඒ චීවර දාරියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා , ඒ දරුවන්, ළමා නිවාසයට බාර කළා” උතුරු කොනේන් මා ඇමතූ අපේ ජේෂ්ඨ වෛද්‍යවරයෙක් මට පැවසුවේ 2015 දී ය. ඔව් , ඒ පොඩි හාමුදුරුවරු, සහ දරුවන් අපට කියූ දෑ, එම ටය. පන්සල් පල්ලි මූලික ඒ සමාජයේ සිදුවන එවැනි දූෂණ අපචාර ගැන වුවද මේ රට මර නින්දේ පසුවන බව පමණක් මම ලියා තබමි.

ඔව් මේ , අපේ රටේ ඇත්ත කථාව ය. දරුවන් මල් වගේ දරුවන් ආරක්ෂා කරගමු යැයි කොතෙකුත් පැවසුවද, අපේ ඇස් ඉදිරිපිටම දරුවන් ගේ ලෝකය විනාශ වෙමින් සිටී.

“මගෙ ටිකට් කපන්න නෝනා” අළුත උපන් බිළිඳා රැගෙන ඉක්මනින් ගෙදර දුවන්න වෙහෙසෙන මවක් අවසානයේ පැවසූයේ, තමන්ගේ දස හැවිරිදි දියණිය සිටින්නේ බීමත් සැමියා භාරයේ බව ත් ඇය දූෂණය වේ යැයි බියක් හිතේ ඇති වගත් ය.

මිනිස්සු මේවා කරන්න භය නැත්තේ ළමා අපචාර නීති රීදී දැඩිව ක්‍රියාත්මක වන සුළු නොවන නිසා යැයි මම කියමි.

ළමා අපචාරයන්ට ලක්වන දරුවන් සහ දෙමාපියන් බොහෝ විට මේ යාන්ත්‍රනයේ පවතින ගැටළුකාරී බව නිසා, දරුවන් උසාවි ගානේ, පොලිසි ගානේ ගෙනිහින්, අනෙක් පැත්තේ නීතීඥයින්ගේ ( දූෂිතයා වෙනුවෙන් පෙනී සිටින) ප්‍රශ්න හමුවේ තවත් අසරණ වෙන නිසා.
ඔවුන්ව උසාවියක් ඉදිරියේ, පිරිසක් ඉදිරියේ, ඔවුන්ට අත් දකින්න සිදුවූ ඒ දරුණු ඛේදවාචකය සිදු නොවුනැයි, ඔප්පු කරන්නට ඔවුන්ව තව තවත් කරදරයට පත් කරන නිසා, ඔවුන් ඇත්ත කියද්දී ඔවුන් බොරු කියන්නේයැයි ඔප්පු කරන්නට හදන නිසා, දරුවෝ ද දෙමාපියන් ද මේ යාන්ත්‍රනය ඔස්සේ යුක්තිය ඉටු කරගැනීමට මැලි වෙති. දරුවන්ගේ හිත, මනස ගැන සොයා බලන්නට මානසික වෛද්‍ය උපකාර හෝ, උපදේශනය ඔවුන් ට මෙහිදී ලැබෙනවා ද ? ඔවුන් මුහුණ දුන් ඔවුන්ටවත් නොතේරෙන ඒ කරුම සිද්ධිය ගැන ඔවුන්ගේ හිත හදන්න යමක් මේ යාන්ත්‍රණයෙන් සිදු කරනවා ද? නැත !

එහි දී අදහස් දැක්වූ මනෝ විද්‍යාඥ ආචාර් ය ෂාන්‍යා අබේනායක, පැවසූයේ එම මනෝ චිකිත්සක උපකාර යොමු කරවන යාන්ත්‍රනය ඉතා දුර්වල බව ය. ඇය මුහුණදුන් එවැනි සිදුවීමක් සහ දෙමාපියන් නීතිය හමුවේ කෙතරම් උකටලී ස්වභාවයක් පෙන්නුම් කරනවාද යන්නත් ඇය පැහැදිලි කළාය.


දරුවන් වෙනුවෙන් ජීවිතය දී ක්‍රියා කරන්නන් අපට අවශ්‍ය ය.

දරුවන් ගේ ජීවත සුරක්ෂිත කිරීමට හැකි පිරිස් අපට අවශ්‍යය.

දරුවන්ට සිදුවන මේ ඛේදවාචක ගැන ඔවුන් හෝ දෙමාපියන් නිහඬ නොවී සිටිය හැකි රාජ්‍ය යාන්ත්‍රනයක් අපට අවශ්‍ය ය.

ඔවුන්ගේ ඉදිරිය අඳුරු නොවන, කායික මානසික උපදේශන සේවාවක් අපට අවශ්‍ය ය.

දරුවන්ට සුරක්ෂිත සමාජයක් නැති නිසා, ඔවුන්ට ආරක්ෂා වීම ගැන කියා දීම අවශ්‍යය, ඔවුන්ගේ ලිංගික/ප්‍රජනන සෞඛ්‍යය ගැන සහ ඔවුන්ගේ නිවස තුලම ආරක්ෂා වීම ගැන ඔවුන්ට වටහා දීම අවශ්‍යය ( වෛද්‍යවරුන් වන අපට ඒ ගැන වඩා හොඳින් විවෘතව කතාබස් කළ හැකි නිසා අපේ සහය පාසැල් වලට ලබා ගත යුතු ය)

එනිසා ළමා ආරක්ෂක බලකාය ! ඔව් එය කාලීන සමාජ අවශ්‍යතාවය කි. ඊනියා ආගමික සදාචාරයක් ගැන පම්පෝරි ගැසුවාට මේ ලංකා පොළොව මත, හය හතර නොතේරෙන කිරි සප්පයින් ගොදුරු කරගන්නා, රකුසන් එමට ය, කරුමය නම් එවැන්නවුන් ඇතැම් විට ඔවුන්ට ජීවය දුන් පියවරුන් ය, එක්කුස උපන් සහෝදරයින් ය, ලේ නෑයින් ය, හිතවතුන් ය, ආරක්ෂාකාරීයැයි දෙමාපියන් සිතුවාට, එම නිවසෙහිම සිටිනා , යන එන රකුසන් ය.

මේ ළමා ආරක්ෂක බලකායේ ෆේස් බුක් පිටුව යි. පිවිසෙන්න
https://web.facebook.com/childprotectionforce/
එය වෙත, ඔබේ අදහස් උපකාර මේ වෙනුවෙන් ලබා දෙන්න.

අපි අපේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරමු !

Tuesday, September 5, 2017

සමාජයක් වශයෙන් අප පරාජිත ය.

සමහරු එක පාරම නින්දෙන් ඇහැරී ඇත. එහෙමත් නෙමෙයි, ඔවුන්ව ඇහැරවලා , සමාජයේ ගඳගහන අපිරිසිඳු යථාර්තය වෙත බලෙන් තල්ලු කර දමා ඇත.

මගේ ලිවීම ඒ තරම් ප්‍රබල ලෙස දැනෙන්නේ ඇයිදැයි සිතා වෙහෙස නොවන්න. මේ සැබෑ ලංකා සමාජ යේ නිරුවත ය. අපි රටක් වශයෙන් පරාජිත වී තිබේ, මනුෂ්‍යත්වය, කරුණාව සහ උසස් ජීවන තත්වයන් යන මේවා හීන වුණු රටක් සමාජයක් ලෙස අපි පරාජිතයන් වී අවසාන ය.

මාස ගණනක බිළින්ඳාගේ සිට මරණයට ළංවූ ආච්චි අම්මලා පවා දූෂණය වන සමාජයක, කුඩා දැරිවියන් ඒ දූෂකයාගේ දරුවන් ඇති දැඩි කළ යුතුයි, ඒක ඔවුන්ගේ කර්මය කියලා වටහා ගතයුතුයි, ඒ කර්ම ගෙවන්න ඒ දැරිවියන් හිත හදාගත යුතුයි කියා බණ ලියූ ගැහැණුන් පිරිමින් නොයෙක් තැන ලියන ද්වේශ බණ ඇස ගැටේ.

"ඇයි එයාලට මේ කර්මය මේ දහම, මේ දේව සැලැස්ම කියලා කියා දෙන්නේ නැත්තේ ? " කියා ඔවුන් විමසති. වෛද්‍යවරුන් ලෙස අප ආගමික, ජාතික බැඳීම් බිඳීම් ඉවත හෙලා, මනුෂ්‍යත්වය පෙරටු කරගෙන සේවය කරන්නෙමු. රෝහල්‍ යනු ඒ සියළු දෙයින් ස්වායක්ත වූ තැනකි. එනිසා අපි මනුෂ්‍යයන් වීමු.

සමාජයක් ලෙස අප  ප්‍රකෘති සිහියෙන් සිටිනවා ද?

බහුතරය තවම ජීවත් වෙන්නේ අපි කුඩා කළ ඉගෙන ගත් හෝ සිතන් සිටිය, " වැවයි දාගැබයි ගමයි පන්සලයි..." කියන සුන්දර සමාජයේ, 

එක් කොණකින් කොණට අනික් 
පයින් යතත් තරුණ කතක් ,
 මුළුවන් වූ කදිම රටක් 
ඇද්ද පුතේ මෙලක මිසක් 

කියා කළින් ලියූ කවියක් ඔළුවේ කොටාගෙන කියලයි මට සිතෙන්නේ.

ගැහැණියකට දැරිවියකට තමන්ට සිදුවන හිංසනයට විරුද්ධව සාධාරණයක් ඉෂ්ඨ කරගත නොහැකි නම් ඒ බිඳුණු ජීවිත සමග ඉදිරි කාලය මුළුල්ලේ තමන්ගේ ජීවිතය මළකඳක් සේ නිවාසයක ගෙවිය යුතු වේ නම් ඒ සමාජයේ මොන හොඳක් දැයි මා ඔබෙන් විමසමි.

දැරිවියන් තමන්ගේ නිවෙස් තුලම අපයෝජනය වී අප හමුවට ගෙන එනවා නම් ඒ සමාජය තුල ආරක්ෂාවක් තිබේ දැයි මම ඔබෙන් විමසමි.

රජයේ රෝහල් තුල , මේ දුක් කඳුළු පිට කරන ගැහැණුන් දැරිවියන් ගේ කතා හමුවේ ඔබ සසල නොවන්නේ නම් ඔබ මනුෂ්‍යයෙක් දැයි මම විමසමි.
මතවාදී වශයෙන් ගැටෙන්නට නොහැකි, ශිෂ්ඨ සම්පන්න නොවූ අන්තර්ජාල පරිහරනය කරන්නන් මා කොතෙකුත් දකිනවා.

රටක් වශයෙන් අපි පරාජිත ය, සමාජයක් වශයෙන් අප පරාජිත ය , පුද්ගලයන් වශයෙන් අප පරාජිත ය.

ආකල්පමය දියුණුවක් නැති කමින්, මනුෂ්‍ය ආචාර ධර්ම නැති කමින් අප සමාජය ම පරාජය වී ඇත.

එකිනෙකා නො ඉවසන සුළු වූයෙන්, කෝප වෛර පිට කරමින් වසුරු වගුරති.

කැතී ග්ලාස් ලියූ බිඳුණු බිළින්දා වැනි පොත්, කියවා ඒ ගැන කප්පරක් කතා කියමින් දුක් කඳුළු වගුරන, පොත්කියවන අයට වැනි ෆේස් බුක් පොත් සමාජ අස්සේ දුක කඳුළු කරන අයවළුන්, මෙවැනි බිඳුණු ජීවිත ගත කරන, කුඩා කළ සිටම, දූෂණයට , අවමානයට සහ ලිංගික හිංසන වලට ලක්වූ බිළිඳුන් දැරිවියන් සහ ගැහැණුන් ගැන මා ලියද්දී අවි අමෝරාගෙන එයි. ඒ ඔවුන්ගේ ඊනියා  "දැහැමි ලංකා සමාජ " සිතුවම බිඳී සුණු විසුණු වන නිසා ය.

කැතී ග්ලාස් ලියූ දැරිවියන් ගැන කම්පා වන ඔබට, ඔබේ රටේ ඔබේ සමාජයේ දුක් විඳින දරුවන් ගැන දැරිවියන් ගැන , හිත යොමු කරන්න බැරි ඇයි දැයි මම අසමි. ඔවුන් තමන් නො ඉල්ලූ තමන්ට දැරිය නොහැකි බරක් සමග අනාගතය අවුල් කරගෙන සිටිය යුතු දැයි මම අසමි. ඉහළට ඉගෙන ගන්න , හෝ නිසි රැකියාවක් ලබන්න හෝ, ජීවිතේ වැරදුණු තැනින් ගොඩ එන්න ඔවුන්ට උදව් කළ යුතු නොවේදැයි මම අසමි.

සමාජයේ නීති සකස් කරන්න යැයි ඔබට මට ලියා දක්වන්න පහසුය,නමුත් ඒ දේවල් ක්‍රියාත්මක කරවන්න ඔබ කළේ කුමක් දැයි මම අසමි.

මා රජයේ රෝහල් වල සේවය කරන අතර තුර, අප වෙත එන්නේ, අප සමාජයේ දරිද්‍රතාවයේ අඩියේම සිටින, අධික ලෙස දුක් විඳින පිරිසකි. ඔවුන්ට පුද්ගලික රෝහලකට හෝ සායනයකට යා ගත නොහැකි ය.

"බෙහෙත් බිව්වේ නැත්නම් ගෙදර යවන්නෑ " කියද්දී

" හා කමක් නෑ ඩොක්ටර් ඇන්ටී මම මෙහෙ ඉන්න කැමැතියි" කියන දරුවන් ය.

ඔවුන්ගේ ලෑලි ගෙවල් කුණු කඳු පිරුණු වත්තට, ඇඳක් මෙට්ටයක් නැති ගෙදරට වඩා ඉස්පිරිතාලේ ඇඳත්, නොමිලේ ලැබෙන බත් වේලටත්, බිස්කට් කෙහෙල් ගෙඩියටත් ප්‍රේම කරති.

ඔවුන් නිරන්තරයෙන් ලෙඩ දුක් කියාගෙන මෙහි පැමිණේ. එවැනි සමාජයක වෛද්‍යවරුන් හෙදියන්, සාත්තු සේවකයන්, මනෝ උපදේශකවරුන්, මොවුන්ගේ ප්‍රශ්න දරන්නට හිත හදන්නට, වෙහෙසෙති.
"අනේ ඩොක්ටර් මාව ගෙදර යවන්න එපා, තාත්තා බීලා එන්නේ හැමදාම රෑට" කඳුළු අතරින් ඩෙංගු වැළඳුණු දැරියක් කියූ කතාව ඔබට මතකදැයි මම අසමි. (බ්ලොග් පිටුවේ ලියා ඇත) 

ඔබේ දරුවා හෝ දැරිය සැනසීමෙන් නිදන අතර ඔබේ දරුවා බොහොම ආරක්ෂිතව සිටින අතර, ඔබේ දරුවා, නිසි පාසැල් අධ්‍යාපනයක් ලබන අතර, දූෂණයට ලක්වුණු දැරියකට, හිත හදා ගන්න , මේක ඔබේ කර්මය කියා ඔබ කියන්නේ කෙසේදැයි මම බොහෝ සසලවූ සිතැතිව කල්පනා කරමි. 
මම ද මවක් වන නිසා මගේ දරුවාට සිදු නොවිය යුතු දෙයක් වෙන දරුවෙක්ට සිදුවිය යුතු නොවේ යැයි මම තදින් විශ්වාස කරමි. නමුත් ඔබ එසේ බොහොම ලෙහෙසියෙන් , ඔහොම කියන්නේ කොහොමදැයි මම ඔබෙන් විමසමි. ඔව් ! මට අතිශය ද්වේශ බණ ලියා එවූ, ලංකා පොළව මතවත් නොසිටින ඊනියා මව්වරුන්ගෙන් මම විමසමි !

අනෙකාගේ කර්මය ඔවුන්ට විඳින්න බල කරන මේ සුදන වැසියන් තමන්ට කරදරයක් වුණු විට එසේ ඉවසන එකක් නම් නැත.
අප සමාජයක් වශයෙන් අපේ දරුවන් ගැන ප්‍රකෘති සිහියෙන් කටයුතු කරනවා ද ?

මවක් විසින් පසුගිය සතියේ අප වෙත අතිශය පීඩාකාරී ලිපියක් පත් කරා, ඒක ලියා තිබුනේ අවුරුදු 8 ක කුඩා දැරියක්

" මගේ ජීවිතේ තමා ලෝකේ තියෙන නරකම ජීවිතය කියා මට හිතෙනවා. ඇයි මට මේවගේ නරක ජීවිතයක් ලැබුනේ "
මේ වචන ඔස්සේ මගේ හිත කම්පා වුණු අයුරු මට ලියා ගන්නට පවා නොහැකියි. ඉතින් අපි තව දුරටත් අපේ මේ කුඩා මල් පොඩිති වල ජීවිත හොඳ අතට හරවන්නට, මහ පොළොවේ පය ගසා දහඩිය හෙළමු

ෆේස් බුක් බණ දෙසන්නන් කියන " මෙහෙමනීති ගෙනෙන්න මෙහෙම කරානම්හරි උපත් පාලනය ගැන අධ්‍යාපනයක් දෙන්න, අරක බොන්න මේකබොන්න" කියන ඒ සුරංගනාකතා වලින් දැහැමි සමාජයක් හැදෙන තුරු, මේ දරුවන් ගේ කම්පන අපි ම දරා ගෙන ඔවුන් ට පිහිටක් වන්නෙමු. 

ඇතැමුන් මේ දැන් ඇහැරුනාට මම මේ කතා ලීවේ 2010 සිට ය. ඇතැමුන් මේ දැන් ඇහැරුනාට අප ප්‍රායෝගිකව මේ සියල්ල දරමින් ඔවුන්ට සෙතක් සහනයක් සලසන්නේ ඒ තරම් බොහෝ කල් සිට ය. ඇතැමුන් මේ හදිසියේ ඇහැරුනාට , ලංකා සමාජය තුල ගැහැණුන් දැරිවියන් දරුවන් අපයෝජනය වේ, ලිංගික හිංසනයට ලක් වේ, ඉතා කුඩා කාලයේදීම දරුවන් දරා ඔවුන් ළමා නිවාස වල අත හැර යති. ළමා නිවාස වල ඉඩ මදි කම නිසා සමහර විට අප රෝහල් තුල ද ඔවුන් තබා ගැන්මට සිදුවේ.

ඔබ ප්‍රකෘති සිහියෙන් දැයි මම අසන්නේ එහෙයිනි. මනුෂ්‍යත්වයට ගරු කරන්න. එවිට ඔබ තුල සිටින බුදුන් , ජේසුන් හෝ දෙවියන් ඔබට සොයා ගත හැකි යැයි මම තරයේ විශ්වාස කරමි !


Sunday, August 27, 2017

මොකුත්ම කරන්න බෑ අම්මේ !

වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්‍රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ.

ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත්

"ඔයාගේ දරුවා හරියට වැඩෙන්නෙ නෑ අම්මේ, එයා ඉපදුනාම ජීවත් වෙන එකක් නෑ"

කියන වචන ටික එක්ක, මාස 9 ක් සම්පූර්ණ කරන්න ඒ අම්මලාට සිදුවෙනවා.

අනික් අම්මලා, ප්ලාස්ටික් කූඩ වලට, පොඩි ඇඳුම්, නැපී අඩුක් කරගෙන එද්දි එයා බොහොම දුක පිරුණු මුහුනෙන් ඇඳකට වෙලා බලන් ඉන්නවා එයාගේ ජීවත්වෙන්නෙ නැති විකෘතිතා ඇති දරුවා බිහි කරන්න. ඊට පස්සෙ කිරි එරෙන නමුත් එයාට ඒවා නවත්තගන්න වෙනවා.
" තදින් බ්‍රා එක්ක් අඳින්න අම්මේ, එහෙම නැත්නම් කිරි ගල් වුනාම බෙහෙත් දෙන්න වෙනවා, ඊළඟ බබා එහෙම වෙන එකක් නෑ " අපි කියනවා.
"මම කොහොමද තව ළමෙක් හදන්නේ හිත හදාගෙන, මට ළමයි එපා" ඇය තරහ අප දෙසට පිට කරනවා.
"ඩොක්ටර් ඒ අම්මා නම් ඩිප්‍රෙස් වගේ" මිඩ් වයිෆ් මිස්ලා නර්ස් මිස්ලා කොඳුරනවා.

ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා. තරහ යනවා. විෂාධියට ලක් වෙනවා. අපි මනෝවෛද්‍ය ඒකකයට ලියනවා. " looks depressed" ඒත් එහෙම නොවුනොත් නේද පුදුමේ. ඇයි මිනිස්සුන්ට මේ දුක දකින්න තරම් සංවේදී හෝ සානුකම්පිත විය නොහැක්කේ. මම නිතර හිතනවා. බොහෝ සංකූලතා හඳුනාගන්න තරම් තාක්ෂණය දියුණු වුනාට ඊට එහා යමක් කරන්න බැරි කමක් තිබුනා.

මේවා දැක දැකම මම ගර්භනී සමයක් පසු කළා, සායන වලට ලෙඩ දරුවන්, අතින් කරින් උස්සාගෙන, දර කොට වගේ අත පය වලංගු නැති උපත් ආබාධ සහිත දරුවන් උස්සන් එන අම්මලා දකිමින් මම ගර්භනී අවධියක් පසු කළා. ඇතැම් විට ඉපදුණු ගමන් ශ්වසන මෙවලම් හයි කරගෙන නොමේරූ ළදරු ඒකක වලට දරුවන් ගෙන ගියා. ඇතැම් දරුවන්, මොළය නැතිව, අත පය නැතිව, ඉපදෙනකොට, ඒවා බලන්න යන්න එපා කියා අනිත් වෛද්‍යවරුන් මාව ඒ වාට්ටුවේ වැඩ වලින් නිදහස් කළා.

මගේ මිතුරියක් එහෙම උපත් ආබාධ සහිතව අඩු සති ගණනකින් ඉපදුන දරුවා සමග දැන් විවිධ වූ කථන, කායික පුහුණු චිකිත්සා වලට දුවමින්, විශේෂ දරුවන්ගේ පාසැල් වලට දරුවා යොමු කරමින් යෙදෙන යුද්ධය මම දැක දැක. මනසින් බොහෝ වේදනා වින්දා.

ඒත් එහෙම දරුවෝ දිගටම ඉපදුනා.

මොකුත්ම කරන්න දෙයක් තිබ්බේ නෑ. "ඒක එයාලගෙ කර්මය" කියලා ෆේස් බුක් එකේ කී බෝඩ් වීරයෝ ලියලා තිබ්බා.

ඒත් සානුකම්පිත වෙන්න පුරුදු වෙච්ච හදවත් ඇති අපට මේ දේවල් මහ විශාල කම්පනයක් ගෙන ආවා.

මේ මම එවැනි මොළය රහිත දරුවෙක් උපදින කම්, ප්‍රසූතිකාගාරයේ බලාගෙන හිටපු හැටි... මෙහෙම සටහන් කරලා තිබුනා. මාස නමයක් දරු ගැබ සපිරුණත් අත පය ඇඟ මේ සේරම වැඩිලා තිබුනත් මොළය වැඩුනේ නැති නිසා ඒ දරුවා ඉපදී පැය කිහිපයකින් මැරුණා.


 feeling emotional.
Holding a heart in my hands while waiting for an anencephaly baby to be delivered ....heart throb ! I hate my job at times like this..
( හදවතක් අතේ දරාඑන මම , මොළය රහිත දරුවෙක් ඉපදෙනකම් බලාගෙන ඉන්නවා, හදවත කම්පා වෙනවා, මම මගේ රස්සාවට දැඩිව වෛර කරනවා මේ වගේ අවස්ථා වල - එහි තේරුම යි)

" මොකුත්ම කරන්න බැරිද " කියමින් තමන්ගේ එළියට නෙරා නොපෙනුන උදරය දිහා බලමින් අම්මලා කන් කෙඳිරි ගෑ අයුරු මතක් වෙනවා.

" අපි මොකද කරන්නේ අම්මා, රටේ නීතිය අනුව අපිට අම්මගේ ජිවිතේට හානියක් වෙනවනම් මිසක කළලයක් ඉවත් කරන්න බෑනේ" අපේ සර් පැහැදිලි කළා

"මගේ ජීවිතේට හානියක් තමයි " ඒ අම්මා අපිට කීවට ඒක බොහෝ අයට තේරුණේ නෑ කියලා දැන් මටත් තේරෙනවා.

නොවැඩුනු කළලයක්, සමග ඒ අම්මා හඬමින් ගෙදර ගියා. ඒ අම්මා ගෙදර ගිහින් එයා එකතු කරපු බඩු වීසි කරලා, යකා නටන්න ගත්තාම, කට්ටඬියෙක් ගෙනැවිත් නූල් බැන්දාලු. කවදාවත් අපේ සායනයකට ආවේ නෑ.

"එයා කොහොමද සතුටෙන් ආයේ සායන වලට එන්නේ. එයාට බලාගන්න හොඳක් තියෙනවද ? නෑනේ" මට එහෙම හිතුනා.

ඒ අම්මා ඒ දරුවා ප්‍රසූත කළත්, ඒ මාළුවෙක් සිහි ගැන්වෙන දරුවා, ( කකුල් දෙක එකට හා වෙලා, ඔළුවේ මොළය නෑ, පිට ඇරිලා, සුෂුම්නාව සහ ඇතුලේ කොටස් පේනවා ) ඇස් දෙක එළියට පැනලා තිබුනා. ඒ බබා බලලා තවත් කෑ ගහලා ඇඬුවා.
ඉන් පස්සෙ මම එයාව දැක්කේ මනෝ වෛද්‍ය සායනවලදී. මගේ කරුමෙට මම මනෝ වෛද්‍ය අංශයෙත් වැඩ කළා. ඒ අම්මාට දරුවා නැතිවීම දරා ගන්න බැරි වුනා.

එහෙම අම්මලා කොතෙකුත් හිටියා. එහෙම දරුවෝ කොතෙකුත් බිහි වුනා. ඉපදිලා බොහෝ සේ දුක් විඳ මිය පරලොව ගියා. ඒත් එයාලා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුනා !

එහෙම ළමයි බිහිවෙන්නෙ ඇයි මේ ලෝකෙට. ! අන්න ඒක මට නිතරම හිතුන දෙයක්. 

බොහෝ දුරට අපි ස්කෑන් වලින් මේ සංකූලතා අඳුන ගන්නවා. එවැනි දරුවන් බිහි වෙද්දි ළමා වෛද්‍යවරයාගේ සිට සියළු දෙනාට දන්වා තිබෙන්නෙ. ඒත් දැඩි සංකූලතා සහිත අය ජීවත් කරවන්න අමාරුයි. ඒ අය පැය කිහිපයක් පණ ඇදලා මිය යනවා. ඒක තමයි ඇත්ත.
ඒ අම්මලා තාත්තලා එහෙම මැරෙන දරුවන්ට , නමක් තියලා, නම රෙජිස්ටර් කරලා, පෙට්ටියක දාලා මිහිදන් කළ යුතු වුනා.

අනික අපේ රටේ කැපකරු මාපිය ක්‍රමයක් හෝ, හරි හමන් ළමයි අරන් හදාගන්න ක්‍රමවේදයක් නෑ. අරන් හදාගන්න අයත් අරගන්නේ කිසිම ආබාධයක් නැති, ලස්සන දරුවෝ. ඔව් ඒක තමයි කටුක යථාර්තය.
මේ ළමයි ඔක්කොම අන්තිමේ රජයේ ළමා නිවාස වල ගාල් වෙනවා. එහෙම දරුවෝ සැරෙන් සැරේ එයාලගේ ආබාධ නිසා අපේ රෝහල් වලට එවනවා.
එතකොට මට හමුවුන දරුවෙක් කීවේ " අපෙ අම්මා ඇයි මාව ඉපදුණු ගමන් මරලා දැම්මේ නැත්තේ ඩොක්ටර්, ඇයි මාව මෙහෙම දුක් විඳින්න අත ඇරලා ගියේ" කියලයි

මේවගේම ජානමය රෝගයකින් දුක් විඳින තරුණ දරුවෝ පිරිසක් මම දන්නවා. මම ඔවුන්ට යහළුවෙක් වගේ. කෙනෙක් අහනවා. "ඩොක්ටර් ඔයා ඔච්චර කත ලියනවා අපේ මේ දුක්බර ජීවිතේ ගැන ලියන්න බැරිද? " කියලා

මේවා මුහුණු පොතේ ලීවම, වෛද්‍යවරියක්ම අහනවා "එතකොට ඔයා හිතන්නේ මේ දරුවන්ව බඩේදිම මරන්නද ? " කියලා. ඒ කීව කෙනා ලිංමැඩි වෛද්‍යවරියක් වීමම මට තිබෙන දුක. අච්චර වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරලා,

පවුල් සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රසව හා නාරිවේද සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ජා තියලා කියද්දිත්, මෙච්චර දුක් විඳිමින් අම්මලා දරුවන් , ජීවිතේ නැති කරගන්න තරම් හිතද්දිත් අපි කොහොමද මේ කඳුළු දැක දැක, ඕක ඕගොල්ලොන්ගෙ කර්මය, ඔයා ඔය දුක විඳගන්න කියලා කියන්නේ ?

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත මීට පෙර සම්මත නොවූයේ දේශපාලන, ආගමික, සංස්කෘතික සහ සමාජයීය පීඩනයන් හේතුවෙන් බවයි. “නමුත් මව්වරුන්ගේ විඳවීම අවසන් කිරීමට මේ නීතිය අත්‍යාවශ්‍යයි. හැම අම්මා කෙනෙකුටම වේදනාවෙන් සහ පීඩාවෙන් නිදහස් වීමට අයිතියක් තිබෙනවා” යැයි ද වෛද්‍ය රත්නසිරි මහතා ප්‍රකාශ කළේය. 
-ඩේලි නිව්ස්


බෞද්ධාගමික පරිසරයක හැදුණු මම ද, ගබ්සාවට , ජීවියෙක් මරණ එකට විරුද්ධ නමුත්, මම වෛද්‍යවරියක් වෙලා, මේ දුක සහ මේ මිනිස් හදවත් වල සැබෑ ස්වරූපය දකින්න ගත්තම මම මගේ අදහස වෙනස් කර ගත්තා.

ලිංගික හිංසනයට පත් වූ කතුන් සහ දැරියන්, ඔවුන්ට අවශ්‍ය නැති කළලයක් දරාගෙන ඉන්න ඕනෑ නැති බව ඕනෙම කෙනෙක්ට තේරෙනවා. මරණීය ආබාධ සහිත දරුවන් මෙලෙස බිහි වුනත් මිය යන කළල යන මේ හේතු කාරණා දෙකේදී පමණයි අවසරය ලබා දෙන්නට හදන්නේ. ඒත් ඔබ මා හොඳාකාරවම දන්නවා දිනකට ගබ්සා විශාල ප්‍රමාණයක් හොර රහසේම සිදුකරන තැන් සහ පුද්ගලික ස්ථාන ඇති බව.

"අම්මෝ ඩොක්ටර් මම නම් කරන්න තියෙන ඔක්කොම ටෙස්ට් කරනවා" එක මිසී කෙනෙක් කියයි. අපි දෙන්නාම වීදුරුවෙන් පෙනෙන trisomy 21 ගෙවත් downs සින්ඩ්‍රෝමය ඇතිව ඉපදුණු දරුවෙක් රැඳි ඉන්කියුබේටරය අසල ඇති ඔක්සිජන් ප්‍රතිශතය මැනෙන උපකරණය දිහා බලාගෙන සිටියෙමු. මේ දරුවාගේ හර්ද සංකූලතා ද එමට ය. මේ අම්මාගේම පළමු දරුවාද, උපත් ආබාධ සහිතව, මන්ද මානසික තත්වයේ පසුවේ. දෛවය ඔවුන්ට බොහෝ සේ අකාරුණික වී තිබේ.

මේ අතර නිෆ්ටි, ට්‍රිපල් ටෙස්ට්, වැනි නම් වලින් බොහෝ ජානමය ලක්ෂන හඳුනා ගැනෙන රුධිර පරීක්ෂන ඇති හැකි පවුල් වල ගර්භනී මව්වරුන් කරගනු ලබයි. ඉතින් ජානමය ආබාධ උපත් ආබාධ ඇතැයි ඔප්පු වුනොත් ඒ කළල ඔවුන් තියාගෙන ඉන්නවා දැයි මම ඔබෙන් අසමි. !

ලිංගික හිංසනයට ලක් වූ අය, සල්ලි විය පැහැදම් කරන්නට නොහැකි වු අසරණ කාන්තාවන් මෙලෙස දුක් විඳින කල, ඇති හැකි අය පමණක් සැපෙන් සනීපෙන් දුක් නොවිඳ දරුවන් හැදිය යුතුයැයි පවසන ෆේස් බුක් ප්‍රජාව දෙස මා කම්පිතව බලා සිටින අතර මෙහෙම රටක අපි තවමත් මේ දරුවන් ගේ දුක දරමින් අම්මලාගේ දුක දරමින් වෙහෙසෙමු.

Thursday, August 24, 2017

ඇගේ ගර්භාෂය ඔබේ නොවේ !

මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල්  බොහෝ ය.
ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත මතකය ට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.
අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.
එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම නැතිව ඇය ආච්චී සමග විසූ අතර බඩු ගෙන එන්න කඩයට ගිය විට එම මුදලාලි විසින් ඇයට අතවර කර තිබුනා, පසුව ලැබෙන තෑගි බෝග නිසා ඇය කිහිප වරක් මෙලෙස අපයෝජනය වී තිබුනා. හරි හමන් ඉස්කෝල අධ්‍යාපනයක් නොලැබුණු මේ දරුවන් යන්තම් ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලය මේ වන විට එළඹ තිබුනා. නමුත් ඇයගේ බඩ ලොකු වෙන්න ගත් නිසා ආච්චි සමග රෝහලට ආපු ගමනේ දී ඇය දැනගත්තේ පිරිමියෙකු අරම කළහම මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව. එතකොට ඇයට මේ සංහදිය කළ වැඩිහිටි පිරිමියා ? ඔහු මෙහෙම වෙන බව නොදැන සිටියා වෙන්න බෑ.
නමුත් ඔහු කියා තිබුනේ ඇය බොරු කියන බව. අධිකරණ වෛද්‍ය සාක්ෂි කැඳවන්නට පොලීසියට පැමිණිලි දමා ඇය පරිවාසය ඔස්සේ කන්‍යාසොයුරියන් විසින් පාලනය කරන ළමා නිවාසයට බාර කර තිබුනා.
හඳුනා ගනිද්දී ඇගේ දරු ගැබට සති විසිපහක් වුනා. ඇය මේ වන විට අවුරුදු 13 විය එළඹ සිටියා.   ඇයට ඕනෑ වුනේ නෑ දරුවා. ඇය දරුවා පරිවාසයට බාර දුන්නා.
මට තවම මැවී පෙනෙන්නේ, ඇය වාට්ටුවේ ඇඳ මත සිට, හවස කාටූන් යන විට ටී වී එක දිහා බලන් ඉන්න හැටි. මම දහස් වර හිතෙන් හඬා වැටුනා. ඇතැම් විට පපුව රිදෙන්න තරම් ඒ කම්පන බලවත් වුනේ අපි මනුස්සයන් නිසා වෙන්න ඇති.
ඇය දරුවා ප්‍රසූත කරන්නට ආවේද මම වැඩ කරන වාට්ටුවටමයි. ඇයට ප්‍රසූත වේදනා එඅ විට විශේෂඥ වෛද්‍යවරයා කීවේ සාමාන්‍ය ආකාරයෙන් ප්‍රසූත කරවන්න පුළුවන් වෙයි. සැත්කමක් කරලා මෙච්චර පොඩි වයසෙම එයාට අසාධාරණයක් කරන්න ඕනේ නෑ කියලයි. (මෙයට වෛද්‍ය විද්‍යාත්මක හේතු තියෙනවා).
ඇය ප්‍රසව වේදනා දරා ගනු නොහැකිව කෑ ගහපු හැටි, දඟලපු හැටි මගේ හිතේ අදටත් කම්පනයන් ඇති කරන දර්ශන ලෙස මතකයට නැගෙනවා.
මට මතක් වෙනවා, තමන්ගේ තාත්තා විසින් දූෂණය කරන ලද දැරිවියන්. ප්‍රමාණය මතකයට නොනැගේ. ඒ තරම් හිත සසල කළ සිදුවීම් වෛද්‍ය සේවයේ යෙදෙන මට දරාගන්නට බැරි වුනා නම්, ඒ පොඩි හිත් වලට කොයිතරම් කම්පනයන් ගෙන ආවේ දැයි මට සිතේ.
එක් දැරිවියක් අප වෙත පොලිසියෙන් බාර දුන්නේ ඇගේ අවුරුදු 8ක කුඩා නැගණියද සමග ය. ඇය අවුරුදු 13 වයස් වූ අතර පියාගෙන් ලැබුණු තිලිණය සති 12 ක කළලයක් ලෙස වැඩෙමින් තිබුනා. මව ගෘහසේවිකාවක ලෙස මැදපෙරදිග රැකියාවකට ගිහින් තිබුනා.
අක්කාට මේ දේ කළත් ඇය නිහඬව සිටි අතර නංගීටද අතවර කළ පියා ගැන ඇය අසල්වැසි කාන්තාවක් මගින් පවුල් සෞඛ්‍ය සේවිකාවට කියා තිබුනා.
ඔවුන් දෙදෙනාගෙම ලිංඟාශ්‍රිතව, සමාජ රෝගයක ලක්ෂන වන සැරව බිබිලි තුවාල මතුවී තිබුනා.
"bastard ! , must have gone around too giving these innocent kids this disease" විශේෂඥ වෛද්‍ය තුමන් තරහින් පැවසූවේ මොවුන් පරීක්ෂා කරන අතර තුර.
වාසනාවකට, ඒ දැරිවිගේ කළලය ගබ්සා වුනේ ඇය රෝහල් ගතව සිටියදී.
අප ඇයට අත්වෙන්නට ගිය ඉරණම වෙනස් වූ බව ඇයට කියද්දී
"ඒක එහෙම වුන එක දේවාශිර්වාදයක්" ලෙස ඇය කීවා. ඔවුන් ගැන බොහෝ දුක හිතුනා.
මේ කතා ගොන්නෙන් කිහිපයක්. තව මෙවැනි ලියූ නොලියූ කතා බොහෝමයි.

ඊළඟට මට හමුවෙන ජාන විකෘති සහිත දරුවෙක්ට ජීවිතය ගැන කතා බස් කරද්දී " ඇයි ඩොක්ටර් මගෙ අම්මට මාව පොඩි කාලෙම මරලා දාන්න බැරි වුනේ " කියා මගෙන් ඇසුවා. ඔහුට දුක් විඳින්න, ළමා නිවාසෙක අත හැර ගිය මව ට ඔහු සදාකාලිකව වෛර කරමින් සිටියා.

තැලසීමියාව නම් ජාන රෝගය වැළදී සිටි දරුවන් සමග වැඩ කරද්දී එවැනි අක්කා නගෝ දෙන්නෙක් කීවේ, අපිට ජීවත් වෙන්න කොහෙත්ම ඕනෙ වුනේ නෑ ඩොක්ටර්, අම්මා උස්සන් ගිහින් ළමා වාට්ටුවේ තියාගෙන කොහොම හරි ජීවත් කෙරෙව්වා" කියමිනි.
"ඩොක්ටර් අපි කොච්චර දුක් විඳිනවද ! ඇයි ඔයාට අපේ කතා ලියන්න බැරි. " කියා මාස කිහිපයකට කලියෙන් ද මා කලින් වැඩ කළ ඒ වාට්ටුවල දැරියක් මා හමුවේ චෝදනා රැසක් ගෙන හැර පෑවා.

අප ළමා වාට්ටුවට, මානසික ඒකකයෙන් ළදරුවන් යොමු කරයි. මොවුන් ඇති දැඩි වෙන්නේ, සාත්තු සේවිකාවන්ගේ සෙවනේය. මව එක්කෝ හිර ගත වී ඇත, නැත්නම් මනෝව්‍යාධියකින් අසනීප වී දරුවා එපා කියා අයින් කර සිටී.
ළමා රක්ෂණ අධිකාරියේ ළමානිවාසයකට ගෙන යන තෙක් දරුවන් බාර කරන්නේ රෝහල් වලටය. එයින්ද මානසික ඒකකයට එවන පිරිසකුත් සිටී.

"මෙයාගේ අම්මා මානසික රෝගියෙක්. මේ ළමයා අරගෙන මෙයාගේ අම්මාගේ නංගි කෙනෙක් හිඟා කද්දී, එයාවයි ළදරුවාවයි අල්ලලා උසාවි දාලා, උසාවියේදි, මෙයා ඉදිරිපත් වෙලා අර මෙයාගේ පුංචිව නිදහස් කරලා, දැන් මෙයා තමා අත් අඩංගුවේ ඉන්නෙ. එතකොට මෙයා කියන්නේ එයා දන්නේ නැතුව ළමයා අරන් ගිහින් තියෙන්නෙ කියලා" අපෙ ප්‍රශ්න හමුවේ මේ කතා දිග හැරේ.
තමන්ට උවමනා නැති ඉරණමකට බලෙන් තල්ලු කරන ලද ගැහැණු සහ දැරිවියන් , ජීවිත කාලයක්ම තමන්ට අනවශ්‍ය දරුවෙක්ගේ බර දරාගෙන ජීවත් විය යුතු ද ?
අපේ රටේ එවැනි දරුවන් , මවට එපා කියන දරුවන්, සියල්ලෝම අන්තිමට නවතින්නේ, රජයේ ළමා නිවාසවල ය. හදා ගන්නට කෙනෙක් ඉදිරිපත් නොවුනොත් මොවුන් ඒවායේ උස් මහත් වේ.

එනිසා මේ සම්මත වුනු ගබ්සා නීති ගැන මේ මොහොතේ විරුද්ධව බණ කියන්න එන කවුරුන් හෝ වෙත්නම් ඔවුන් ගැන දැනෙන්නේ පිළිකුලකි.  මන්ද ඔවුන් හැමටම වඩා ,
මේ ගැහැණුන් සහ දරුවන් විඳින දුක හොඳින්ම දැකිය හැකි ඒකක කිහිපයක මා අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කරන නිසා ය.
ඔව් එය ජීවියෙක් කළලයක් වැනි බොහෝ තර්ක තිබෙනවා. එනමුත් කරදර කාරී ප්‍රතික්ෂේපිත පරිසරයක වැඩෙන්න සිදුවෙන ඒ දරුවා ඊට වඩා අමාරු ජීවිතයක් ගත කරනවා නොවෙ ද ?  මේ මව්වරුන් ට තනිව දරු බර දරන්නට වීමෙන් ඔවුන් පත් වෙන කරදරකාරී තත්වය ගැන අප සංවේදි වෙනවා ද ?

අප දකින්නේ පණ ඇති ගැහැණු ය. පණ ගැහෙන ජීවී ගැහැණියකගේ , ගැහැණු දරුවෙකුගේ ජීවිතය තමන්ට අනවශ්‍ය තමන් ඉල්ලූ නැති, කාටවත් වගකිව නොහැකි ජීවියෙකුගේ බරක් සමග ඉතිරි වෙනවා නම් ඒ දරුවා ඉන්පසු සමාජයේ නොයෙකුත් අකටයුතුකම් මැද දිවි ගෙවනවා නම් එය කොයි තරම් නම් සමාජ ඛේදවාචකයක්දැයි ඔබ මදකට සිතුවා ද ?
motherhood is a choice ! මාතෘතවය යනු ස්ව කැමැත්තක් !
අප හමුවට විවිධ වූ සංකූලතා ඇතිව , හොර ගබ්සා කරුවන්ගේ අලකලංචි නිසා අසාධ්‍ය තත්වයෙන් පසුවන ගැහැණුන්ද දරුවන් ද, පැමිණේ, මා විටින් විට ඔවුන් ගැන ලියා තැබුවා ඔබට මතක ඇති.
ජීවී වේවා අජීවී වේවා, ජීවත්වෙන්නට ඇති අයිතිය ගැන පඬි වදන් දොඩවන මහතුනි, නෝනාවරුනි, ඔබ අසල ඇති මහ රෝහලේ ප්‍රසව හා නාරි වේද ඒකකයට ගොස් ඇත්ත තත්වය වටහා ගන්න.
ඇගේ ගර්භාෂය ඇගේ ය. ඒ ගැන තීරණයක් ගැනීමට ඇයට නිදහස තිබිය යුතු ය !
මේ ගබ්සා නීති ගෙන ආවේ බොහොම සාධාරණ මානුෂීය හේතු සහිත කාරණා දෙකකදී ය ! එනිසා මම ඒවාට එකඟ වෙමි.
පසුගිය ලිපි

අවසානයේ සියල්ල දරන්න වෙන්නෙ අපටය https://anithkona.blogspot.com/2013/02/blog-post_27.html
ඉන්දියාවේ සිදුවීම ෆේස් බුක් හමුවේ https://anithkona.blogspot.com/2013/01/blog-post_12.html
ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද https://anithkona.blogspot.com/2010/07/blog-post.html
අනිත් කොන තනිවුණු ළමා මව්වරුන් https://anithkona.blogspot.com/2012/02/blog-post_28.html 
දැන් ඉතින් විසිකරන්න යෑ https://anithkona.blogspot.com/2016/01/blog-post_81.html
ආපසු හැරෙන්නට නොහැකිය https://anithkona.blogspot.com/2011/09/gender-based-violence.html

Tuesday, August 22, 2017

ඇතුලේ ඉන්නේ දොස්තර නෝනා !

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආකල්ප !

මේක වෙලා ටික කාලයක් නිසා මම හිතුවා මේ දේ ලිවීම වැරැද්දක් නෑ කියලා. මෙය එක් එක් පුද්ගලයාගේ වැරදි සෙවීමට ලියන්නක් නොවන බවත්, සමස්ථ වෛද්‍ය හෙද හෙදි සුළු සාත්තු සේවක යන කාර්යය මණ්ඩලයේම වෙනසක් සිදුවිය යුතු බව පමණක් හිතේ තියාගෙන ලියනා ලියවිල්ලක් බවත් මතක් කරනු කැමැතියි. මේ ලියන මම ද මගේ අඩු පාඩු හදාගෙන ඉදිරියට යනවා මිසක, සර්ව සම්පූර්ණ කෙනෙක් නොවේ.


එදින මා වාට්ටුවේ පිටුපස දොරෙන් ඇතුල් වුනේ යම් කිසි බර පොදියකුත් ඔසවාගෙනමය. මට අවශ්‍ය වුනේ වාට්ටුවේ සිටි හෙදියන්ට මා ආ බවට පණිවිඩය දීමට යි. ඇතුල් වෙද්දිම මා දුටුවේ වාට්ටුවේ මැදක සිටි සාත්තු සේවිකා දෙපලයි. මම අතින් සන් කර කතා කෙරුවෙමි. "මම ආවා කියන්න" කීවෙමි. ඔවුන් ගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන නැවත කතා කෙරුවෙමි. "මට එන්න බෑ ඔයා එන්න මෙතෙන්ට" යනුවෙන් ඔවුන්ගෙන් උස් හඬක් නැගිනි.

මා අඩි කිහිපයක් ඔවුන් වෙත යත්ම, හිස් අත් බදාගෙන පැමිණියේ "අයියෝ ඩොක්ටර් නේද, අපි හිතුවේ වාට්ටුවේ අම්මා කෙනෙක් " කියමිනි.


"ඇයි වාට්ටුවේ අම්මා කෙනෙක් නම් එන්නෙ නැද්ද ? හරිම වැරදියි ඔයාලා හැසිරුණු විදිහ. ඒ කොනේ දොර ළඟ අම්මා කෙනෙක්ට හදිසියක් වෙන්න බැරිද ? කලන්තයක් හරි, මොකක් හරි අනතුරක් වෙන්න බැරිද  ? කවුරු උනත් ඔයාලාට බලන්න තිබ්බා නේද ?"

මගේ ප්‍රශ්න හමුවේ ඔවුන්ගේ මුව අගුළු වැටී තිබිණි.

 "ඩොක්ටර් ඔය දේවල් ඔයාට හදන්න හෝ විසඳන්න බෑ මේ සිස්ටම් එකේ හැටියට" කියමින් මගේ කියැවීම් හමුවේ මිතුරු හෙදියක් අලගු තැබුවාය.

තව දිනක, මා වෛද්‍යවරුන්ගේ විවේක කාමරය ඉදිරිපිට සිටගෙන ඊළඟට සේවා මුරයට පැමිණෙන වෛද්‍යවරියට රෝගීන් ගැන කියද්දී, එදිනම සේවය සඳහා පැමිණි සනීපාරක්ෂක සේවිකාවක් මවෙත කඩන් පැන්නේ

"හා හා කෑ ගහන්න එපා ඔතන, දොස්තර නෝනා ඇතුලේ ඉන්නවා" කියමිනි.

රාත්‍රී වැඩ මුරයක් හමාර කරමින්, සැමියා බෑග් මළු කාර් රථයට පටවන අතරතුර මම, දරුවාද වඩාගෙන ෆෝන් එකෙන් කියවමින් සිටි අතර ඈ මා දුටුවේ වාට්ටුවේ මවක් ලෙසින් බව කියමින්, ඉන් පසු සති කිහිපයක් මගෙන් සමාව ඉල්ලුවාය. නමුත් ඒ සිදුවීම මටනම් සිනහ උපදවන සුළු වුන දෙයක් විය.

ඒ වුනත්  "වාට්ටුවේ අම්මෙක්ට උනත් එහෙම බනින එක සුදුසු නෑ " කියා මම ඇයට කරුණු පහදා දුන්නෙමි.

දැන් මට තව සිදුවීමක් මතකයට නැගේ. ඒ උතුරේ මා වැඩ කළ අනිත් කොන රෝහල ය. එහි අතිශය කාර් යය බහුල ප්‍රසව හා නාරිවේද ඒකකයේ, සිටියේ වෛද්‍යවරුන් හතර දෙනෙක් සහ විශේෂඥ වෛද්‍ය වරයා පමණි. එනමුත් සියල්ලෝම එකම කණ්ඩායම් හැඟීමකින් සේවය කළ නිසා පංගු පේරුවක් හෝ, මේ අපේ වැඩේ නොවේ කියා මැසිවිලි නැගීමක් මා දුටුවේම නැත. එදින නාරිවේද සායන පැවැත්වූයෙන්, මා සිටියේ, ස්කෑන් කාමරයේය. විටින් විට, ප්‍රසූතිකාගාරයේ වැඩට අපව කැඳවයි. මා ටිකකට කලින් පැමිණියේ දරුවෙක් ප්‍රසූත කළ මවකගේ යෝනියේ පිහිටි කැපුමක් සහ ඉරීමක් මැසීමෙන් අනතුරුව ය. මොහොතකින් මට මතක් වුනේ, ඔරලෝසුවත් මුද්දත් සින්ක් එක උඩ ගලවා තබා ආ බව ය. මම නැගිට විගහින්, අනෙක් වාට්ටුව දෙසට දිව්වෙමි. ප්‍රසූතිකාගාරයේ ජලකරාමය ළඟ සියල්ල නිරුපද්‍රිතව තිබිණි. මා ඔරලෝසුව බැඳන් හැරෙද්දී දුටුවේ, දොරටුව අල්ලාගෙන හති අරින හෙදිය යි. "අයියෝ ඩොක්ටර් දිව්වේ ඇයි" ඇය මගෙන් අසයි.

"මගෙ මුද්ද අමතක වුනා" මම විමතියෙන් උත්තර දුනිමි.

"අයියෝ මම ඔයා දුවනවා දැක්කම හිතුවා මෙහෙ හදිසි තත්වයක් කියලා. මාත් දිව්වා ඔයා පස්සෙන්,උදව්වෙන්න අයියෝ !" ඇය හති අරිමින් පවසයි. කියන්න කළින් සියළු දේ ගැන විමසිලිමත් ව සිටිති.ඇතැම් අය මෙයාකාරය. මම හිතන්නේ ආකල්ප අතින් අප සිටින්නේ ගොඩක් පහළ අඩියකයි ! මදුරුවෝ කනවා කියා කියූ සැනින්, කොහොඹ කොළ පොල් ලෙලි, රැගත් තාච්චියක් ට්‍රොලියක තියා හවස් වරුවේ වාට්ටුවල දුම ඇල්ලුවේ එහිදී ය. කියන එක පමණක් සෑහේ. ඉක්මනින් ක්‍රියාත්මක වේ.

දින කිහිපයකට කළින් හදිසි සැත්කමක් සිදු කර, දරුවෙක් ප්‍රසූත කරන ලදී. ඉපදුනේම මැරුණ ආකාරයෙනි, විගහින් දරුවා උණුසුම් කර, තට්ටු කරමින් ස්වසනය දෙන්නට සිදුවීදෝ බලද්දී "චෑස් ගාමින් හඬන්නට වූ නමුත්, හමේ වර්ණය, සහ අත් පය වල ගතියෙන් කියා පෑවේ අවුල් බවකි. එහෙත් මට සහය වන්නට සිටි හෙදියන් මා කියන්නත් ප්‍රථම සියළු දේ මවෙත ළංකරමින් ලොකු සහයක් දැක්වූ නිසා විනාඩි කිහිපයකින් දරුවා ප්‍රකෘති කරන්නට හැකි විය.

ජීවිත බේරා ගැනීම යනු හුදෙක් තනි පුද්ගලයෙකුගේ කාර් යයක් නොවේ. එය කණ්ඩායම් වැඩකි. කණ්ඩායම් හැඟීමක් නොමැති වුන කළ සාර්ථකත්වයක් නොමැති වේ.

Monday, August 21, 2017

සයිබර් සල්ලාපය සහ Book Lunatics !


බුක් ලූනටික්ස්, මේ වචනයම මට ගෙන ආවේ කුතුහලයක්.



කතුවරු දහ දෙනෙක් ? මට ඒක තවත් පුදුමයක්. ඒ පුදුමය දැක බලාගන්න මම 13 ඉරිදා, මහවැලි කේන්ද්‍රයට ගියෙමි.
මුහුණු පොතේ දැක පුරුදු බුක් ලූනටික් සංසදයේ සොයුරු සොයුරියන්, සිනාමුසු මුහුණින් සිටි අතර, අන්තර්ජාලයේ පොත් සාප්පුව, ග්‍රන්ථ grantha.lk හි, මා අවුරුදු 10 කට කළින් හඳුනාගත් බ්ලොග් සහෘද, දසුන් සමීර වීරසිංහ, තනෝජා නංගී, නවීන් ශ්‍රීමාල් මල්ලි සහ බොහෝ දෙනෙකගේ හිනා මුහුණු මග හැර ඇතුලට යා ගත නොහැකි විය.
ඇතුල් වෙන විටම ලැබුනේ, පොත් රැඳි ත්‍යාගයකි. එයද grantha.lk මගිනි.

කාලවේලාව ගැන ගැටළුවක් පැවති මට, සවස දෙකෙන් පසු සමුගෙන යන්නට සිදු වූ නිසා සවන් දෙන්නට හැකි වුනේ, පූජ්‍ය බටූවන්ගල හිමි, කත්‍යානා අමරසිංහ මහත්මිය, වෛද්‍ය සුසීත රුවන් මහත්මයා සහ සහන් කසීර වික්‍රමසිංහ මහත්මයා යන ලේඛක ලේඛිකාවන්ගේ හරවත් දෙසුම් වලට පමණි.







පොතක් කියවන්න වෙහෙසෙන්න ඕනෙම ද ?

මෙහිදී ඇන්ටි නවල් යන ශානරය යටතේ ලියැවෙන වෛද්‍ය සුසීත රුවන් ගේ නවකතා ගැන අපූරුම දෙසුමක් අසන්නට ලැබුනා. ඇත්තම කීවොත්, ඔහුගේ මාරායණය පොත, මම ද කියවන්නට රැගෙන, අතර මැද දෙතුන් විට අත් හැර දැමූවෙමි. ඒ එය ලියැවී ඇති ක්‍රමය නිසා ය. එහිදී ඔහු කීවේ කියවන්නට යම් කිසි වෙහෙසක් දරා කියවිය යුතු, හිතනන්ට සහ ගලපාගනන්ට වෙහෙසිය යුතු මේ ලියන ක්‍රමය ලෝකයේ ප්‍රචලිත බවත්, ඒ ගැන පරීක්ෂණ කරමින් ලියූ බවත් ය. මේ ක්‍රමය කොයි තරම් හොඳින් ඔබ ග්‍රහණය කරගෙන තිබෙනවා ද කියතොත්, අප රෝහලේ පුස්තකාලයට පොත් ගන්නට යන කණ්ඩායමට මම ද සහභාගි වන අතර ගිය වර පොත් ගන්නා විට, මාරායණය ගනිද්දී එතැන කෙනෙක් පැවසුවේ, " ඒ ඩොක්ටර්ගේ කළින් පොත බැලුවම මේකනම් හරි නෑ " කියලයි. ඇයි ඇහුවම කීවේත්, හරි පැටලිලි විදිහට ලියලා තියෙන්නේ, කියලයි. මගේ පුද්ගලික හැඟීම නම්, කියවන්නා වෙහෙසට පත් නොකළ යුතුයි කියලයි. ඒත් පර් යේෂන සඳහා එවැනි ක්‍රමයක් අත් හදා බැලීම නරකම නැත. anti- novel හී ලක්ෂනයක් ලෙස රේඛිය ආකාරයේ කතාව ගලායාමක් නැතිව, සිදුවීම් දාමයක එක එක අවස්ථා සංසිද්ධිඑක පෙළට නොව විටින් විට ලියා තැබෙන බව පැවසේ. එය වැටහෙන්නේ දැන් ය. ඒ ඔබේ කතාවට සවන් දීමෙන් පසු, ඔබේ මාරායණය නවකතාව යළි සිහිගන්වාගැනීමෙනි.
ඒත් මම නම් කැමති රේඛීය (linear) ආකාරයෙන් ගලා යන කතන්දර වලටමයි.

බස් වල දෙකයි පණහට විකිණෙන ළමා සාහිත්‍යය.

කත්‍යානා මහත්මිය විවිධ වූ අංශ රැසකින්ම විවිධ තේමා රැගත් පොත් ලියූ දක්ෂ ලේඛිකාවකි. නිලි වැස්ස තුලින් අප හිත් තුල නොමැකෙන ආකාරයේ කතා පුවතක් සම්පින්ඩනය කළ, වණ්ණ දාසී තුලින් සමාජයේ නොපෙනෙන කටුක යථාර්තයක් විග්‍රහ කරමින් අප සසල කළ අයුරු මට මතක් වේ.

එනමුත් කතාබහේදී වඩා වැඩියෙන් කතා වුනේ ළමා සාහිත්‍යකරනය ගැන ය.

ළමා පොත් ගැන අදහස් දැක්වූ ප්‍රවීන ලේඛිකා කත්‍යානා අමරසිංහ මහත්මිය, අද පවතින, ළමා කතා රැල්ල, සහ එයින් දරුවන්ට සිදු විය හැකි හානිය ගැන පැවසූවා. මෙහිදී ලලිතා ජයවර්ධන මහත්මිය, බස් රථ වල නගින වෙළෙන්දෝ, අඳෝනා නගමින් ඔවුන්ගේ දුක කියා පොත් පහක් පමණ සුළු මුදලකට විකුණනවා යැයි ද, ඒවා ඇයද මිලදී ගෙන අසරණ පවුල් වල දරුවන්ට ලබා දෙන බව ද එය කොයි තරම් හානි දායක ද කියා විස්තර කළා. ඇත්තෙන්ම ඒවායේ ප්‍රමිතියේ බාලකම සහ ගුණාත්මක යමක් නොමැති බව මම ද එක පාරක් එවැනිම පොත් පහක් අනුකම්පාවට මිලදී ගත් පසු අත් විඳ ඇත්තෙමි. මෙහිදී වගකිව යුතු පිරිසක් විසින් සමාජයේ මේ ගැන කතිකාවක් ඇති කර, දරුවන්ගේ මනසට මෙවැනි හානි දායක කතා වලින් සිදු විය හැකි අගතිය කොයි තරම් දැයි පෙන්වා දී , ළමා සාහිත්‍ය පොත පත මුද්‍රණයේදී කුමක් හෝ ප්‍රමිතියක් අනුගමනය කිරීමට යම් කිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි මට සිතේ.


කාටුන් බැලීම හොඳ නෑ !

මම දැඩිව විමතියට පත් වුන කරුණක් ඇහෙන්නේ ඔය අතර තුරේ දී. සභාව මෙහෙයවූ නිවේදකයා තමන්ගේ මතය වැඩි විස්තර සහිතව ඉදිරිපත් කළ අතර, ඔහු එක විටම, කාටූන් බැලිම හොඳයි වගේ මතයක් කියන්නට වුනා.
එතැන කතා බහ පොත් ගැන නිසාත්, විවාද කිරීම නුවමනා නිසාත් මා ඒ ගැන එතැන කියන්නට නොගියේ කතාබහේ තිබූ අරමුණු වලින් පිට යෑම ඔස්සේ ඒ වනවිටත් කාලය වේලා ගතවෙමින් තිබුණු නිසා ය.
ළමයින්ට ටීවී, ෆෝන්, අයි පෑඩ් වැනි දේ නොදිය යුතුයි යන්න දැන් පිළිගත් මතයයි.

ළමා පරපුර තමයි මතු දාක වැඩිහිටියන් ලෙස සමාජය බාර ගන්න ඉන්නේ. ඔවුන් පොත් පත් ආභාෂයෙන් ඈත් වෙලා සෞන්දර්‍යාත්මක චින්තනයන්ගෙන් ඈත්වෙලා ස්ක්‍රීන් එකක් ඉස්සරහ ගාල නොවිය යුතුයි කියලා වෛද්‍ය විද්‍යාත්මක හේතුත් සමග පැහැදිලි කළ පර්යේෂන ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් හමුවේ .

නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය (Imagination) කියන දේ අවශ්‍යයි. අන්න ඒ පරිකල්පන ශක්තිය කෙනෙක් තුල ඇතිවෙන්නේ , කුඩා කළ සිටම තියුණු වූ, හැඩගැස්වීමට ලක් වූ නොයෙක්, සමාජීය සෞන්දර්යාත්මක දෙයින් පෝෂණය වූ මනසක් තුලින්.

අද බටහිර රටවල විද්‍යාඥයින් පර්යේෂන මගින් ඔප්පු කර පෙන්වා තිබෙනවා, තිර ඉදිරියේ ගාල් වන දරුවන්ගේ මානසික වර්ධනය අඩාල වෙනවා කියන එක.

බටහිර රටවල වෛද්‍යවරු උපදෙස් දෙනවා. screen time එක අඩු කරන්න ය කියලා, බහ තෝරන වියේ දරුවන්ට මෙන්ම , කුඩා දරුවන්ට, කාටූන් සහ වීඩියෝ ගේම් වැනි දෑ නොදෙන්න කියලා.

ඇත්තටම ඒක හරි , මොකද, දරුවෙක්ට පොතක් කියවීම තුලින්, කතන්දරයක් කීම තුලින්, ලැබෙන විඳීම සහ සංවේදනා , තිරයක් මත කාටූන් එකකින් හෝ චිත්‍රපටයකින් ලැබෙන්නේ නැතිව යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළේ කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. නිරන්තරයෙන් ඉගෙනීමට සහ මතක තබා ගැනීමට ලක්වෙනවා. සමාජයේ අසන දකින දේවල් වලින් පෝෂනය වෙනවා. පොතක් කියෙව්වම, ඒ අකුරු ඔස්සේ දරුවා හිතේ කතාව හදා ගන්නවා, දරුවෙක්ගේ හිතේ චිත්ත රූප මැවෙනවා, ඒ අකුරු ඔස්සේ මොළය තුල රූප මවාගෙන කතාව කියවනවා.

ස්ක්‍රීන් එකක් ඉස්සරහ ඉඳගෙන කවුරු හරි රූප මවලා දෙන කතාවක් බලද්දී ඒ දේ සිද්ධ වෙන්නෙ නෑ. ඉතින් පරිකල්පන ශක්තියට කිසිම හොඳක් ඒකෙන් වෙන්නෙ නෑ.

අපි පොඩි කාලේ උනත්, අපි උත්සහ කළේම මිදුලේ කැලේ දුව පැන සෙල්ලම් කරන්න නමුත් අද දරුවන් ගෙවල් තුල ගාල් වෙනවා. තිරයක් ඉදිරියේ ඉඳගෙන කිසිඳු හැල හොලමන් නැතිව පසු වෙනවා. මෙයින් ඇත්තටම ළමා මනසේ දියුණුවට යමක් සිදුවෙන්නේ නෑ. කායික වර්ධනයටත් එය බාධාවක්.
එනිසා බුක් ලූනටික් සංසදයේ ඉන්නා පිරිස වගේ, පොත් කියවන්නට,පොත් වලට ආදරය කරන්නට හැකි පිරිසක් අප රටට අවශ්‍යයි. එනිසා පොත් කියවන්න අපේ මතු පරපුරට අපි හුරු පුරුදු කළ යුතු යැයි මට සිතේ.

එමගින් පරිකල්පන ශක්තිය දියුණුවෙනවා මෙන්ම, බොහොම හර්දයාංගම සොඳුරු මිනිසුන් එවිට අප සමාජයට බිහි වෙනු ඇත. අනෙකා ගැන සංවේදී වෙන, මිනිස් හැඟීම් පෝෂණය කරන්නට පොත් වලට මහා ලොකු දෙයක් කරන්න පුළුවනි. අද විවිද වූ ක්ෂේත්‍රවල රැකියාව කළත්, සාහිත්‍යයට කලාවට බොහෝ සෙයින් ආදරය කරන මෙවැනි පිරිසක් එකතු වෙන්නේත්, අපට කුඩා කළ සිට ලැබුනු ඒ දායාද නිසා කියලයි මට සිතෙන්නේ.

කොලමකින් කරන්න පුළුවන් මොනවා ද ?

ආච්චිගේ කොලම නමින් , ලියූ ෆේස් බුක් ලියැවීම්, පොත් වෙද්දි, මම, සහන් කසීර නම් රචකයා හඳුනා ගත්තෙමි. ඔහුටම අනන්‍ය වූ, ඔහුගේම හිතවතුන් අලලා වචනයෙන් දමාගසනා උත්ප්‍රාස උපහාස රැගත් ලියැවිම් බොහෝ ප්‍රසිද්ධ ය. නමුත් ෆේස් බුක් ලියැවීම් වලින් ඔබ්බට ගොස් මා දකින්නේ, අවුරුදු ගණනාවක් පුරා අප වෙත, විවිද වූ විශේෂාංග රැගත් පුවත් පත් ලිපි, ලියන සහන් කසීර වික්‍රමසිංහ නම්, දක්ෂ පුවත්පත් රචකයා ය.

ඔහු එදින කළ කතා බහ ගැන මට ඇත්තේ විස්මය දනවන සතුටක්. විටෙක ප්‍රහසනය උත්ප්‍රාසය කැටි කර රචනයේ යෙදෙන සහන් කසීර ඒ ලියැවීම් ඔස්සේ සමාජයේ නොයෙකුත් ප්‍රශ්න සහ ගැටලු සහිත තැන් ලියන්නේ කොහොමදැයි කීවේ, තීරු ලිපි ලිවීම අපි හිතන තරම් සරල නොවන බව පැහැදිලි කරමින් ය..
අන්තර්ජාලය නොමැති අප හැදී වැඩුණු ඒ කාලයේ, අප බොහෝ දෙනෙක් පරිශීලනය කළ, මනහර , නවයුගය, සමුදුර වැනි පුවත් පත් සඟරා ගැන අප මතකය අවධි කරමින්, ඔහු එකල තිබූ සඟරා ගැන පැවසුවේ, මා අසලම හිඳගෙන සිටිය ද, මට ද හඳුනාගත නොහැකි වූ, ප්‍රවීණ මාධ්‍යවේදී, කුමාර සිරිවර්ධන, මහතා පෙන්වමිනි. නමින් පමණක් දැන සිටි ඒ මහතා එහි සිටින බව මා දැනගත්තේද එවිට ය.

වචන 400 යන මැයෙන්, සත්හඬ පුවත් පතේ පළවන තීරු ලිපි ආශ්‍රයෙන් නිදසුන් විදහා පාමින්, එය කෙතරම් වාග් සංයමයකින් හසුරුවාගත යුතු මාධ්‍යයක් දැයි, ඔහු පැහැදිලි කළේය. එය, සාරවත් මාධ්‍යකරණය යනු කුමක් දැයි වඩා හොඳින් අපට මතක් කර දුන් කතාවක් විය.

කලින් ගිය නිසා මග හැරුණු මතක




එදින වඩා සාරවත් දේශන රැසක් පැවතිය ද, කාලය සමග වෙහෙසකර ගමනක යෙදෙන කවදාවත් නිවාඩුවක් නැතිව වැඩ කරන ඉස්පිරිතාල සේවයේ යෙදෙන අප වැන්නවුන්ට රැඳී සිටීම අපහසු විය.

කතා බහ අතර තුර ලද විරාමයේ දී, මා සිත් ගත් ලේඛක දිලීප ජයකොඩි මහතා හමුවීම ද, කත්‍යානා අමරතුංග මහත්මිය හා මා ලියූ පොතේ ගුණ දොස් කතා බස් කිරීමද මා ලද භාග්‍යයක් සේ සලකමි.

මිහිර සිරිතිලක සහ කුමාර තිරිමාදුර, යන දක්ෂයින් දෙපෙළ විසින් ඉදිරිපත් කරන ලද ඒ නාට්‍ය අංගය ඇත්තෙන්ම විශිෂ්ට ය ! සාහිත්‍යය ගිලගෙන ඇති ප්‍රකාශන අධිකාරිය ගැන අඳුරු තැන් ප්‍රහසනය කැටි කොට අප වෙත දමා ගැසූ අයුරු කදිමය. දැසින් කඳුළු පනින තුරු සිනහ වූ අතර , එහි කටුක යථාර්තය පසක් වී අපේ රටේ පොත් කර්මාන්තයේ ඉදිරිය ගැන දුකක් ද ජනිත විය.

වෛද්‍ය අධ්‍යාපනය ලබන කාලයේම ක්ෂණික නූඩල්ස් වැනි කෑම වල අතුරු ආබාධ , දරුණු කම ගැන දැනගත් නිසා, ඒවාට තිත තැබුවෙමි. අද වන විට, ක්‍රිකට් විරුවන් යොදාගෙන පවා ඒවා ප්‍රචාරනය කිරීමක් ද, කුඩා දරුවන්ට පවා ගිල්ලවන්නට හැදීමක් ද දකින්න ට ලැබේ. මට ගෝචර නොවූ සයිබර් සල්ලාපයේ මා දුටු එකම එක අවුල එය විය. මට ගෝචර නොවන නිසා ලියා තබමි. ප්ලාස්ටික් ඉවත දමන වතුර බෝතල් ද නොදුන්නේ නම් හොඳයි. මා නම් ගෙදරින් වතුර ගෙන යමි. එදිනද බෝතලයක් රැගෙන ආවෙමි. සමාජය වනසන ව්‍යසන බොහෝ ය. ඉන් ටික ටික වත් බේරී සිටීම පහසු මග ය. මේ ලියන්නේ පණ්ඩිතකමකට නොවේ. සමාජය මදක් හෝ වෙනස් කරනන්ට ය.

සමස්ථයක් ලෙස ගත් කළ, මා අත් විඳි දුටු දෑ බොහෝ සොඳුරු ය. හිතවත් ලේඛක ලේඛිකා හමුව බොහෝ සුන්දර මතක ඉතිරි කර ඇත. මා ලියූ පශ්චාත් යුධ සමයේ වන්නියේ දෙවැනි මෙහෙයුමේ කතා පොතද කවි පොතද ගෙනැවිත් මගේ සමරු අත්සන ගත් සහෘදයන් ස්තූති පූර්වකව සිහිපත් කරමි. නැවත බුක් ලූනටික් හමුවක දී , මීට වඩා කල් වේලා වෙන්කරගෙන රැඳෙන්නට අදිටන් කර ගනිමි.

මේ හමුව සංවිධානය කළ සියල්ලන්ටම බොහෝ ස්තූතිය පිරිනමමි. !

ජායාරූප : booklunatics face book group https://web.facebook.com/groups/BOOKLUNATICS